''මතින් නිදහස් රටක්'' මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන ''මතින් නිදහස් රටක්'' ලෙස නම් කළ නවීන පහසුකම්වලින් යුත් නව දුම්රිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ පළමු ගමන්වාරය ඇරඹිණි.
එම දුම්රියේ පළමු ගමන් වාරයට සහභාගි වෙමින් ජනාධිපතිතුමා මරදාන දුම්රිය ස්ථානය තෙක් දුම්රියේ ගමන් කළේය.
මීට වසර 04 ක පෙර ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව මතින් නිදහස් රටක් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන ආරම්භ කෙරුණු අතර එය නව මුහුණුවරකින් පසුගිය දිනවල ක්‍රියාත්මක කෙරිණි. ඒ යටතේ අද සිට ආරම්භ වන සතිය දහම් පාසල් සතිය ලෙස නම් කර ඇති අතර මෙම දුම්රිය ඒ හා සමගාමීව ධාවනයට යොදා ඇත.
නව දුම්රිය ජනතා අයිතියට පත් කළ ජනාධිපතිතුමා මත්ද්‍රව්‍යවලින් වන අහිතකර බලපෑම් සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගත හැකි පියවරයන් පිළිබද මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සිදුකෙරුණු අත් පත්‍රිකා ඛෙදාදීමේ වැඩසටහන සදහා ද එක්විය.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා සදහන් කළේ, මත්ද්‍රව්‍ය මර්දනය සහ නිවාරණය වෙනුවෙන් පසුගිය වසර 04 ක කාලය තුළ දී දියත් කළ වැඩසටහන් මෙම වසරේ සිට නව මුහුණුවරකින් ක්‍රියාත්මක කෙරෙන බවයි.
ඉන්දියාවෙන් ගෙන්වන ලද මෙම දුම්රිය, බලවේග කට්ටල දෙකකින් යුතු වන අතර වායු සමීකරණ මැදිරි 02 කින්, දෙවන පංතියේ මැදිරි 02කින් සහ තෙවන පංතියේ මැදිරි 07කින් සමන්විත ය.