මත් උවදුර තුරන් කළ රටක් අනාගත දරු පරපුරට දායාද කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
විවිධ මාර්ග ඔස්සේ රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒම සහ බෙදාහැරීම නතර කිරීමට පියවර රැසක් ගෙන තිබේ. ත්‍රස්තවාදයෙන් රට මුදාගත්තා සේම මත් උවදුරෙන් ද රට බේරාදෙන බව ජනාධිපතිවරයා පැවැසීය.
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වැද සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස අද (22) ගම්පහ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිවරයා කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගීවෙමින් මේ බව පැවසීය.
ගංවතුරට ගොදුරුවන පෑලියගොඩ ප්‍රදේශවාසීන් වෙනුවෙන් මහල් නිවාස සංකීර්ණයක් සහ පෙතියාගොඩ පොම්පාගාරය ඉදිකරන ලෙස ජනතාව කළ ඉල්ලීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. කිරිබත්ගොඩ රෝහලේ වත්මන් තත්ත්වය සහ ඉඩම් ගැටළු පිළිබඳව ද ජනතාව ජනාධිපති දැනුවත් කළහ. පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ නතර නොකරන ලෙස ද ඔව්හු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
නිසි නඩත්තුවක් නොමැතිවීමෙන් විනාශයට පත්ව ඇති සියඹලාපේ හන්දිය අසළ ව්‍යායාම මංතීරුව ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් විය. එය කඩිනමින් ප්‍රතිසංස්කරණ කර දියත උයන සංකල්පයට සමානව ස්වයං රැකියා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කරන්නැයි ජනතාව ජනාධිපතිගෙන් ඉල්ලීමක් කළහ.
බියගම වඩුවේගම සහ කොට්ටුන්න වැව් ප්‍රතිසංස්කරණය කිරීමෙන් අක්කර 400කට අධික කුඹුරු අස්වැද්දිය හැකි බව ජනාධිපතිවරයා සමග ජනතාව පැවසූහ. දීර්ඝ කාලයක සිට ගමනාගමන මණ්ඩල බස් රථ ප්‍රමාණවත් තරම් ධාවනය නොකිරීමෙන් සවස් කාලයේ මුහුණදීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳව ද ඔව්හු ජනාධිපතිතුමා දැනුවත් කළහ.