මොණරාගල දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය මඟින් වැඩසටහන් කිහිපයක්ම කඩිනමින් ක්‍රියාවට නංවමින් සිටි.
මේ යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පානීය ජලය නොමැති ගම්මාන 30 ක් වෙනුවෙන් ග්‍රාමීය ජල සම්පාදන ක්‍රම 16ක් අරම්භ කර ඇති අතර ඉන් 9ක්ම මේ වන විට ජනතා අයිතියට පත්කර තිබේ.
තවත් ග්‍රාමීය ජල ව්‍යාපෘති 07ක් ළඟදීම ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි.
මීට අමතරව මොණරාගල දිස්ත්‍රික්කය තුළ වසර කිහිපයක් තිස්සේ පවතින පානීය ජල ගැටලු සඳහා දීර්ඝකාලීන හා කෙටිකාලීන විසදුම් ලබාදෙන ලෙස විෂයභාර අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයට උපදෙස් ලබාදෙන ලදී.
මේ යටතේ ඉදිකෙරුණු මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන්ඔය ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රමය නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණ.
පොල්ගහපිටිය, රත්තනදෙණිය ග්‍රාම සේවා වසම් දෙකෙහි පවුල් 875කට නල ජල පහසුකම් මෙම බෙල්ලන්ඔය ග්‍රාමීය ජල සම්පාදන ක්‍රමයෙන් ලබාදේ.
මෙම පවුල්වල 3300ක් පමණ පිරිසකගේ වසර ගණනාවක් තිස්සේ පැවති පානීය ජල ගැටලුවලට මෙමඟින් විසඳුම් හිමිවේ.
සාමාන්‍යයෙන් නල ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් 17,000 ක මුදලක් ගෙවිය යුතු වන අතර මෙම බෙල්ලන්ඔය ග්‍රාමීය ජල සම්පාදන ක්‍රමයෙන් කිසිදු මුදලක් අයකර නොගෙන මෙම පවුල් 775 ටම නොමිලේ පානීය ජල පහසුකම් සම්බන්ධතාව ලබාදීම විශේෂත්වයකි.
ලෝක බැංකු ණය ආධාර යටතේ ජල සම්පාදන හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ග්‍රාමීය ජල සම්පාදන ක්‍රම ක්‍රියාත්මක වේ.
මෙම බෙල්ලන්ඔය ග්‍රාමීය ජල සම්පාදන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා වැය කෙරුණු මුදල රුපියල් මිලියන 173 ක් පමණ වේ.
මීට අමතරව මෙම වැඩසටහන වැසිකිළි යටිතල පහසුකම් නොමැති නිවාස 171 ක් සඳහා නොමිලේ වැසිකිලි පහසුකම් ලබාදීමට වැය වී ඇති මුදල රුපියල් මිලියන 6 කට ආසන්න වේ.
ඊට අමතරව රත්තනදෙණිය කණිෂ්ඨ විද්‍යාලයේ සනීපාරක්ෂක පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2ක මුදලක් ද මෙම ව්‍යාපෘතිය මඟින් වැයකර තිබේ.
වසර කිහිපයක් තිස්සේ පැවති පානීය ජල ගැටලුවලට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් පොල්ගහපිටිය සහ රත්තනදෙණිය ගම්මානවල ජනතාව රජයට සිය ප්‍රසාදය පළකරති.
බෙල්ලන්ඔයෙන් ජලය ලබාගෙන ජලය පිරිසිදුකර බෙදාහරින බෙල්ලන්ඔය ග්‍රාමීය ජල සම්පාදන ක්‍රමයෙන් වසර පුරාවට කිසිඳු ගැටලුවකින් තොරව පානීය නල ජල ලබාදීය හැකි බවත් ඕනෑම නියං කාලයකදී වුවද කිසිදු ගැටලුවකින් තොරව නල ජලය ලබාදිය හැකි වීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි.
ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, ජල සම්පාදන හා සනිපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අධ්යක්ෂ යු.යු.කේ. රණතුංග යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම බෙල්ලන්ඔය ග්‍රාමීය ජල සම්පාදන ක්‍රමය විවෘත කිරීමේ අවස්ථාවට එක්වූහ.
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ජල සම්පාදන හා සනීපාරක්ෂක වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ග්‍රාමීය ජල සම්පාදන යෝජනා ක්‍රම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සහයෝගය ද හිමිවේ.
නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ අධික්ෂණය යටතේ බෙල්ලන්ඔය ග්‍රාමීය ජල සම්පාදන ක්රමයේ මෙහෙයුම් හා නඩත්තු කටයුතු සිදු කරනු ලබන්නේ සීමාසහිත තුෂරබිඳු ඒකාබද්ධ ප්‍රජාමූල සමිතිය මඟිනි.