තම ආධාරකරුවන් පසුගිය සතියේ එක්සත් ජනපද කැපිටල් නගරයට කඩා වැදුණු පසු ප්‍රථම වතාවට මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති ට්‍රම්ප් කියා සිටියේ ඩිමොක්රටික් දේශපාලඥයන් තමාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒම අතිශයින්ම හාස්‍යජනක බවයි.
කෙසේ වෙතත් මෙම පියවර සම්බන්ධයෙන් දැඩි කෝපයක් ඇති බව ජනාධිපතිවරයා පැවසූ අතර, මෙම දෝෂාභියෝගය සඳහා අද ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බව සඳහන් වේ.
"දේශපාලන ඉතිහාසයේ දැවැන්තම මායා දඩයම ඔවුන් දිගටම කරගෙන යනවා. නමුත් මට ප්රචණ්ඩත්වයක් අවශ්‍ය නැහැ" ට්‍රම්ප් වැඩිදුරටත් පවසා සිටියේය. පසුගිය දෙසැම්බර් 8දා සිට වාර්තාකරුවන් හමුවේ ඔහු කළ පළමු වැනි ප්රකාශයේදී "ඔබ ඉල්ලා අස්වනවාද?" යන ප්‍රශ්නයකට ට්‍රම්ප් පිළිතුරු දුන්නේ නැත.
දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහොත් ට්‍රම්ප් දෙවරක් දෝෂාභියෝගයට ලක්වූ පළමු වැනි එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වනු ඇත.
කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප් ඉවත් කිරීම සඳහා 25 වැනි ව්‍යවස්ථා සංශෝධනය කැඳවීමට දරන උත්සාහයට සහාය දීම උප ජනාධිපති මයික් පෙන්ස් විසින් ප්‍රතික්ෂේප කරමින් කතානායිකාව වෙත ලිපියක් යොමුකර තිබේ.