පළමු පියවර ලෙස මගීන්ට හොඳ මානසිකත්වයකින් බස් රථයේ හෝ දුම්රියේ ගමන් කිරීමට පසුබිම සකසමින් ප්‍රවාහන සේවාව නගාසිටුවීම අරඹන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට කියා සිටී.
“ඉතා කුඩා ආරම්භයකින් ලොකු වෙනසක් කරන්න පිළිවන්. බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම හෙටම පටන් ගන්න”ජනාධිපතිතුමා උපදෙස් දෙයි.
පෝස්ටර් ඇලවීම නතර කිරීමට ගත් කුඩා තීරණයෙන් රටේ සියලු නගර පවිත්‍රව තබා ගැනීමට හැකි වූ බව පෙන්වා දෙන ජනාධිපතිතුමා සෑම ක්ෂේත්රයකම සංවර්ධනය ඉතා කුඩා තැනකින් ඇරඹිය හැකි බව පවසයි.
ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (18) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.
මෝටර් රථයෙන් පැමිණ එය නතර කොට තබා බස් රථයෙන් සේවා ස්ථානයට ගමන් කිරීමේ ක්‍රමය(Park & drive) කඩිනමින් ක්‍රියාත්මක කර මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. ගමනාගමන මණ්ඩලය බස් ධාවනය සේවාවක් ලෙස පවත්වාගෙන ගියද පාඩු නොලබන ආයතනයක් විය යුතුයැයි එතුමා කීය. ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ ධාවනය පිළිබඳව රජයේ සහ පෞද්ගලික දෙඅංශයම අවධානය යොමු කළ යුතු බව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.
“දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන නොපමාව පටන් ගන්න. ප්‍රවාහන ක්ෂේත්රයේ ප්‍රවර්ධනය සඳහාමූලිකව විසඳුම් දිය යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම අවශ්‍යයි. ඉදිරි පස් වසර තුළ ප්‍රවාහන සේවාව නගාසිටුවීමට දිගු සහ කෙටිකාලීන සැලසුම් සකස් කළ යුතුයි. නියම කරගත් ඉලක්ක වෙත ළගා වෙනවාද යන්න විමර්ශනය කිරීම ඉතා වැදගත්” ජනාධිපතිතුමා පැවසීය.