මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර ඇත්තේ රටේ සෑම ප්‍රදේශයකම ජීවත්වන උගතුන්,බුද්ධිමතුන්ගේ අදහස් හා යෝජනා වලට මුල් තැන දෙමින් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (06) පෙරවරුවේ නිවිතිගල බස් නැවතුම් පොළ භූමියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනරැළියට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ඒ ඒ ප්‍රදේශවල ජීවත්වන ජනතාවගේ අවශ්‍යතා හා උවමනා පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ඇතිවයි මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබෙන්නේ. මෙහි සඳහන් සියලු කරුණු ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා. ඒ නිසා මේ සියලු කරුණු මගේ ධූරකාලය තුළදී ඉෂ්ඨ කරනවා කියන එක සහතික වෙනවා.
අපි විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය හා වැවිලි කර්මාන්තය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරල තියෙනවා. අපි දන්නවා මේ රටේ සීයයට තිස්තුනක් පමණ තවමත් ජීවත් වෙන්නේ වැවිලි කර්මාන්තය හෝ කෘෂිකර්මාන්තයෙන්. අද වැවිලි කර්මාන්තයේ නිරත වෙලා ඉන්න සෑම පළාතකම සියලු දෙනාම වගේ ඉතා අසීරු තත්ත්වයකට තමා පත් වෙලා ඉන්නේ. වසර ගණනාවක් අපේ රටට විදේශ විනිමය ගෙනාපු තේ,පොල්,රබර් යන මේ සියලු වැවිලි ඉතා අසීරු තත්ත්වයට පත් වෙලා. රටේ අපනයන කරන භෝග වන ගම්මිරිස්, කුරුඳු වැනි භෝග වල මිල පහළ වැටිලා තියෙනවා. තේ මිල පහත වැටීම නිසා අද එහි නිරතව ඉන්න කම්කරුවගේ සිට කුඩා ප්‍රමාණයේ තේවතු හිමියන්, තේ කර්මාන්ත ශාලා හිමියන්,ඉහළ සමාගම් දක්වා අද අසීරු තත්ත්වයකට පත්වි තියෙනවා. මෙයට ප්‍රධානම හේතුව විදේශීය රටවලින් ගුණාත්මක බවින් අඩු තේ මෙරටට ගෙනත්, අපේ තේ සමඟ කලවම් කර පිටරට යැවීමයි.
නමුත් එදා අපේ රටේ තේ සඳහා ලෝකයේ පැවති ඉල්ලුම අතින් පළමුවෙනි තැනේ සිටියා. අපි දැන් හතරවෙනි තැනට වැටිලා. අපේ තේ සිලෝන් ටී කියන වෙළෙඳ නාමය යටතේ ලෝකයේ ඉහළම තැනට ගෙනත්, ගුණාත්මක බවින් අඩු තේ මෙරටට ගෙනත් ප්‍රතිඅපනයනය නවතලා. රජය මැදිහත්ව අලුත් වෙළෙඳපොළවල් නැවත හදාගෙන, අපේ තේ වලට හොඳ මිලක් ලබාගැනීම හරහා තමයි, තේ කර්මාන්තය දියුණු කළ හැක්කේ.
අපේ නව රජයක් යටතේ තේ කර්මාන්තය ඉහළට නංවන්න අවශ්‍ය පියවර ගන්නවා. ඒ වගේම නව තාක්ෂණය යොදාගෙන තේ වගාව දියුණු කිරිමට පියවර ගන්නවා. කුඩා තේ වතු හිමියන්ට නැවත තේ වගා සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැලසීමටත් කටයුතු කරනවා. ඒ වගේම රබර් කර්මාන්තය ඉහළට ඔසවා තැබීම වෙනුවෙන් පිටරටින් අපේ රටට රබර් ගෙන ඒම තහනම් කර, අපේ රබර් කර්මාන්තය ඉහළට නැංවීමට කටයුතු කරනවා. ගම්ම්රිස් හා අනෙකුත් භෝග වර්ග වෙනුවෙන්ද අපේ රජයක් යටතේ විශේෂ අවධානයක් යොමු කරනවා. එදා ගුණාත්මක බවින් ඉහළ ගම්මිරිස් පැවතුනේ අපේ රටේ. නමුත් පිටරටින් බාල ගම්මිරිස් ගෙනවිත් ප්‍රතිඅපනයනය කිරිම හේතුවෙන් අපේ ගම්මිරිස් වලට තිබුණ ඉල්ලුම නැතිවෙලා තියෙනවා. ඒ නිසා අපි ගම්මිරිස් හා අනෙකුත් භෝග පිටරටින් ගෙනවිත් ප්‍රතිඅපනයනය කිරිම තහනම් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම අපේ ගම්මිරිස් වලට සිලෝන් පෙපර් කියන නාමය යටතේ ජාත්‍යන්තරයේ ප්‍රසිද්ධ කිරිමට කටයුතු කරනවා. තවද ගම්මිරිස් වගාවේදී ඇතිවන රෝග හඳුනාගෙන, ඵලදාව වැඩිකර ගැනීමට විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ කටයුතු කිරිමට බලාපොරොත්තු වනවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
නිවිතිගල - හසල බුද්ධික