මීගමුව බන්ධනාගාරය තුළ සිදුවු දුෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී සිටි මීගමුව බන්ධනාගාරයේ දෙවැනි පෙළ ජේලර්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට අද (24දාං) පස්වරුවේ පැමිණ බාරවී ඇතැයි වාර්තාවේ.
එලෙස බාරවී ඇත්තේ මීගමුව බන්ධනාගාරයේ දෙවැනි පෙළ ජේලර්වරයකු වශයෙන් සේවය කළ ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැත්තා බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.
මෙම සිද්ධියට අදාළව මීගමුව බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ අනුරුද්ධ සම්පායෝ මහතාට අමතරව මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා වශයෙන් කටයුතු කළ උපාලි සරත් බණ්ඩාර, වැඩබලන ජේලර් නිශාන්ත සේනාරත්න සහ දෙවැනි පෙළ ජේලර් ප්‍රසාද් කාලිංග කළුඅග්ගල නමැති නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු නිකුත් කොට තිබිණි.
මීගමුව බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළ අනුරුද්ධ සම්පායෝ මහතා තමන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කොට තිබේ.