ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාසල් තුළ මුඛ ආවරණ පැලඳීම තහනම් කිරීමේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයාගේ තීන්දුව නිසා මේ වනවිටත් ගුරුවරු හා සේවකයන් කිහිප දෙනෙකුම කොවිඩ්-19 වසංගතයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වෙයි.
මෙම තත්ත්වය තුළ ඇමෙරිකානු ගුරු සම්මේලනයේ සභාපති රැන්ඩි වීන්ගාර්ටන් චෝදනා නගන්නේ ෆ්ලොරිඩා ප්‍රාන්තය තුළ ආසාදිතයන්ගේ සැලකිය යුතු වැඩිවීමක් පෙන්වමින් ඇති පරිසරයක වත්මන් අණ්ඩුකාරවරයා තමාව තෝරාගත් ජනතාවගේ යහපැවැත්මට සහ ආරක්ෂාවට වඩා ඔහුගේ දේශපාලන අභිලාශයන් ගැන කැපවී සිටින්නෙකු බවයි.
ෆ්ලොරීඩාවේ රිපබ්ලිකන් ආණ්ඩුකාර රොන් ඩෙසැන්ටිස් පසුගිය ජූලි මාසයේදී පාසල් තුළ මුඛ ආවරණ නියෝග තහනම් කරමින් විධායක නියෝගයක් නිකුත් කළේය. ඔහු පවසා ඇත්තේ තම දරුවන් මුඛ ආවරණ පැලඳ සිටිය යුතු යන්න දෙමාපියන් තීරණය කළ යුතු බවයි.
මේ තත්ත්වය තුළ ෆ්ලොරිඩාවේ මෙන්ම එක්සත් ජනපදය පුරා දෙමවුපියන් කොවිඩ්-19 පූර්වාරක්ෂාව සම්බන්ධයෙන් පාසල් හා සෞඛ්‍ය නිලධාරීන්ට ඇඟිල්ල දිගු කලත්, සැබවින්ම ආරම්භයේ සිටම ඇමෙරිකාව තුළ කොවිඩ්-19 දේශපාලනීකරණය වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.