නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 ආසාදිතයන් වාර්තාවීම්, රෝහල්ගතවීම් සහ වෛරසය ආශ්රිත මරණ වේගයෙන් රටපුරා ඉහළ යන බැවින් "මුඛ ආවරණයක් පලඳින්න..!" යැයි එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) එරට ජනතාවගෙන් දැඩි ඉල්ලීමක් කර තිබේ.
CDC විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් "මුඛ ආවරණයක් පලඳින්න..!" යැයි මෙම ඉල්ලීම සිදුකර තිබුණි.
"ඔබේ මුඛය සහ නාසය ආවරණය කර ගන්න" ඒජන්සිය තවදුරටත් කියා සිටියේ, මහජන සෞඛ්‍ය පූර්වාරක්ෂාවන් මගින් වෛරසය ආසාදනය වීමෙන් ආරක්ෂා වීමට මෙය පුන පුනා නිර්දේශ කර ඇති බවය.
එසේම CDC නිර්දේශ කරන්නේ මිනිසුන්ට අඩි හයක් සමාජ දුරස්ථභාවය පවත්වා ගන්නා ලෙසය. එමෙන්ම, අත් සේදීම සහ හැකි සෑමවිටම නිවසේ රැඳී සිටීමටද ඔවුන් නිර්දේශ කරයි.
"ආසාදන වේගයෙන් ඉහළ යමින් තිබෙනවා." ඒජන්සිය අනතුරු ඇඟවීය. "අපි සාමූහිකව ක්‍රියා නොකර, වෛරසය පැතිරීම මන්දගාමී කිරීමට අපට කළ හැකිදේ නොකළහොත්, තවත් දහස් ගණනක් මිය යා හැකියි."
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම, ලොව පුරා බෝවන රෝග හා වසංගත රෝග පිළිබඳ විශේෂඥයන් පවා කොවිඩ්-19 වසංගතය හමුවේ මුඛ ආවරණයක් පැලඳීමේ වැදගත්කම අවධාරණය කර තිබේ. අඩුම තරමින් ස්ථර තුනකින් යුතු රෙදි මුඛ ආවරණයක් හෝ මේ මොහොතේ අතිශය තීරණාත්මක වෙයි. එමෙන්ම මුඛ ආවරණය පැලඳීමද නිවැරදිව සිදුකළ යුතු අතර, කතා කරද්දී එය පහළට ඇදීම, මුඛ ආවරණය බෙල්ලට දමාගෙන සිටීම, නිතර එය ඉදිරියෙන් අල්ලා පහළට ඇදීම ආදිය අවදානම වැඩි කරන්නකි. මුඛ ආවරණයක් යනු ඔබ ඔබව ආරක්ෂා කරනවා සේම, ඔබ විසින් අන් අයවද ආරක්ෂා කිරීමේ සමාජ වගකීමකි.
මෙවැනි භයානක වසංගතයක් හමුවේ ඔබේ ශික්ෂණය, ඔබේ විනය, ඔබේ සමාජ වගකීම්සහගත බව ඔබට පමණක් නොව, සමස්ත සමාජයටම යහපතක් සිදුකරන බැවින්, මුඛ ආවරණයක් නිසිලෙස පැලඳීමට, නිතර අත්සේදීමට, සමාජ දුරස්ථභාවය පැවැත්වීමට සියලු දෙනා එකාවන්ව පෙළගැසිය යුතුය.