පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී බස්රථවල ආසන ගණනට මගීන් ප්‍රවාහනය අනිවාර්යය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළවූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අද (08දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. කොවිඩ් 19 හේතුවෙන් මෙතෙක් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක නොවූ, පොදු ප්‍රවාහන සේවාවන් අදසිට දිවයින පුරා සාමාන්‍ය පරිදි ආරම්භ විය.
අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පොදු ප්‍රවාහන සේවා සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්විණි. ඊට ප්‍රවාහන සේවා කලමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
එහිදී පහත සදහන් කරුණු පිළිබඳව සාකච්ඡා විය.
- ලංගම හා පුද්ගලික බස්රථ සේවා සඳහා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක කිරීම.
- බස් ගාස්තු සංශෝධනයක් දැනට අවශ්‍ය නැති බවත්, දැනට පවතින ගාස්තු යටතේ බස් ගාස්තු පවත්වාගෙන යාමට සියලු බස්රථ සංගම් එකඟත්වය පළ කළේය.
- කොවිඩ් 19 හේතුවෙන් ඇතැම් පුද්ගලික බස් රථවල බැටරි දුර්වලවීම, ටයර් දුර්වලවීම සහ යාන්ත්‍රික දෝෂ පවතින බැවින් ඒවා අලුත්වැඩියා කරගැනීමට රු. ලක්ෂ 03 ක ණය මුදලක් ලබාදෙන ලෙස බස් රථ සංගම් ඉල්ලා සිටි අතර ඊට අතිගරු ජනාධිපතිතුමන් විසින් එකගත්වය පළකර ඇත.
- දැනට ප්‍රමාද වී ඇති ලීසිං වාරික සදහා සහන කාලයක් ලබාදීම.
- පුද්ගලික බස් රථවල කල් ඉකුත්වි ඇති රක්ෂණ සඳහා මාස 03 ක් දක්වා රක්ෂණ කාලය දීර්ඝ කිරීම.
මීට අමතරව ආසන ගණනට අනුව මගීන් ප්‍රවාහනය කිරීම අනිවාර්යය කරන අතර සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් පරිදි තවදුරටත් කටයුතු කළ යුතුය.
දැනට නාගරික දුම්රිය ධාවනයේදී ඇතැම් දුම්රියවල වාඩිවී ගමන් කිරීමට ආසන ප්‍රමාණවත් නොවන අතර ඒවායේ ගමන්කළ හැක්කේ සිටගෙනය. එමනිසා ඒ සම්බන්ධව සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි කටයුතු කිරීමට තීරණය කල බව, අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අද (08) දින පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමේදී ස්ථාන කිහිපයක සෞඛ්‍ය උපදෙස් නොතකා කටයුතු කළද, සමස්තයක් වශයෙන් දිවයිනේ 95% ක පමණ පොදු ප්‍රවාහන සේවාවන් ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.