බස්නාහිර පළාත් ජනතාවගේ ගැටලු විසඳීමට මුදල් නොමැති බව සඳහන් කරන බලධාරීන් පළාත් සභා මන්ත්‍රීවරුන්ට වාඩිවීම සඳහා එක් පුටුවකට රුපියල් හයලක්ෂ පනස් දහස බැගින් වියදම් කිරීමට සැලසුම් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මන්ත්‍රීවරුන් 104 දෙනෙකු වෙනුවෙන්පාර්ලිමේන්තුවේ සවිකර තිබෙන පුටුවලට සමාන පුටු පළාත් සභා ගොඩනැගිල්ලේ සවිකිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම ක්‍රියාව වහාම නවතා දමන ලෙසට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් අද (09දා) ලිඛිතව ඉල්ලා සිටි බවත් පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා සඳහන් කළේය.
අදාළ පුටු විදේශ රටකින් ගෙන්වීමට සැලසුම් කර තිබෙන බවත්, මේ සඳහා පළාත් සභාවට වෙන්වූ මුදල් වියදම් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඔහු කියා සිටියේය.
පක්ෂයක් ලෙසත්, බස්නාහිර පළාත් සභා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ලෙසත් මෙය අනුමත නොකරන බවත්, මේ නිසා වහාම මෙම කටයුත්ත අත්හිටුවිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පළාත් සභා බල ප්‍ර‘දේශයේ පාසල්වල, රෝහල්වල යටිතල පහසුකම්වල ගැටලු විශාල ප්‍රමාණයක් තිබෙන බවත්, ජනතා නියෝජිතයන් ලෙස ජනතා අවශ්‍යතා සඳහා මුදල් වියදම් කළයුතු බවත් හෙතෙම පවසා සිටියේය.
අදාළ පුටු ගෙන්වීම සඳහා මේ වනවිට විදේශ රටකට ඇණවුමක් බාර දී ඇතැයි වාර්තාවන බවත්, පළාත් සභා ඉතිහාසයේ පුටුවක් වෙනුවෙන් මෙතරම් මුදලක් නියම වී තිබෙන පළමු අවස්ථාවද මෙය බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
මෙතරම් මුදලක් වියදම් කර පුටුවක් ගෙන්වීමට කටයුතු කළහොත් පුටු 104ක් වෙනුවෙන් අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත්, මේ නිසා මෙම කටයුත්ත නවතා දැමීමට බලධාරීන් කටයුතු කළයුතු බවත් හෙතෙම සඳහන් කළේය.
බස්නාහිර පළාත් ප්‍රධාන කාර්යාලයේ සැලසුමකට අනුව මෙම පුටු ගෙන්වීම සිදුවන බවත්, මේ පිළිබඳ පළාත් සභා මන්ත්‍රීවරුන් හෝ දැනුවත් නොමැති බවත් ඔහු කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් විමසීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළදඔහු දුරකථනයට සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.