මේ වන විට බේරේ වැව ආශ්‍රිතව යළිත් ධීවර කර්මාන්තය ආරම්භ කර ඇති බවත් ඒ අනුව එහි ඔක්සිජන් ඇති බවත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ ඊයේ (01) දින කොළඹ නගරයේ බේරේ වැව ආශ්රිත සංවර්ධන කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
“බේරේ කියන්නේ ලන්දේසි යුගයෙත්, බ්‍රිතාන්‍ය යුගයේත් ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානයක්. අපේ ඉඩම් සංවර්ධන සංස්ථාව මගින් මෙහි තිබූ කුණු රොඩු වගේම ගිලී තිබූ යකඩ, කොන්ක්‍රීට් ඉවත්කර සෑහෙන දුරට අවසන් කර තිබෙනවා.
ලබන වසරේ මැද භාගය වන විට මුළු බේරේ පරිශ්‍රයම වැව අයින දිගේ මීටර් හයහමාරක වපසරියක මන්තීරුවක් ඉදිකරන්න කටයුතු කර තිබෙනවා. මුළු දුර කි.මි. 6 ක් පමණ තිබෙනවා. දැනට හතරහමාරක් පමණ ඉවර කර තිබෙනවා. තව කිලෝමීටර් එකහමාරයි තිබෙන්නේ. ඒ අනුව මුලු බේරේ වැව වටේටම ගමන් කිරීමේ පහසුව ලබන වසරේදී ලැබෙනවා.
ඒ වගේම රජය විසින් දශ ලක්ෂ හයසියයක් ආයෝජනය කරනවා බේරේ වැව යටින් තිබෙන රොන්මඩ තට්ටුව සම්පූර්ණයෙන්ම ඉවත් කරලා ජනාධිපති කාර්යාලය අසලින් මුහුදට යවන්න. ඒ සඳහා වැඩකටයුතුත් දැන් සිදු වෙමින් පවතිනවා. ඒ වගේම දැනට කොළඹ නගර සභාවේ ඇතැම් ස්ථානවලින් බේරේ වැවට මලාපවහන පද්ධති එවනවා. ඒවා අපි ඉවත් කර ගන්නා ලෙස දැනුම් දී තිබෙනවා. ඒ ඇරෙන්න මෙහි ජිවත් වූ අති විශාල පවුල් ප්‍රමාණයකට නිසි නිවාස ලබාදී ඉවත් කර තිබෙනවා.
ඒ වගේම සංචාරක කර්මාන්තයත් දැන් හොඳින් දියුණු වෙමින් පවතිනවා. අප මෙහි බෝට්ටු සේවාව ආරම්භ කිරීමෙන් පසුව සති අන්තයේ දිනකට එක්දහස් පන්සියයක්, දෙදාහක් පමණ එම සේවාව ලබනවා. මේ විට විවිධ පක්ෂීන් මෙම ප්‍රදේශයට පැමිණ තිබෙනවා. ඒ වගේම නැවතත් දැන් බේරේ වැවේ ධීවර කර්මාන්තය පටන් ගෙන තිබෙනවා.
ඒ කියන්නෙ බේරේ වැවේ නැවත ඔක්සිජන් තිබෙනවා කියන එකයි. අපේ පිරිසිදු කිරීමේ කටයුතු 50% ක් අවසන් වන විටම හොඳ තත්වයක් ඇති වී තිබෙනවා.”