කොවිඩ්-19 සඳහා ධනාත්මක බව තෙවැනි වරටත් පරීක්ෂා කිරීමෙන් අනතුරුව බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ බ්‍රසීලයේ ජනාධිපති මන්දිරයෙන් පිටතදී ආධාරකරුවන් අමතා තිබේ.
ජුලි 7 වැනි දින වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂණයට භාජනය වී, ඒ අතරතුර සිදුකළ පරීක්ෂණයකින් යළිත් ධනාත්මක වී, තමන් සති දෙකකට පසුව යළි සිදුකළ පරීක්ෂණයෙන්ද ධනාත්මක ප්‍රතිඵලයක් ලැබුණු බව ජනාධිපතිවරයා පවසා ඇත.
ජනාධිපති මන්දිරයෙන් පිටත මුඛ ආවරණයක් පැළඳ සිටි බොල්සෝනාරෝ සාම්ප්‍රදායික බ්‍රසීල ධජය එසවීමේ උත්සවයකින් පසුව මෙසේ සිය ආධාරකරුවන්ට ආචාර කර ඇති අතර, ඔහු මේ ආකාරයෙන් වෛරසය ආසාදිතව සිටියදී සිය ආධාරකරුවන් සමග දුරස්ථව කතාබහ කළ පළමු වැනි අවස්ථාවද මෙය නොවෙයි.
කෙසේ වෙතත් මෙම අස්ථාවේදී වෛරසය ගැන වැඩි දෙයක් කතා නොකළ බොල්සොනාරෝ සහ ආධාරකරුවන් කුඩා ඇල මාර්ගයකින් දුරස්ථව සිටි බව කියැවෙයි.
බ්‍රසීල නායකයා මුල සිටම මෙවැනි වගකීමෙන් තොර හැසිරීමක් පෙන්නුම් කරන පසුබිමක ගෙවීගිය දිනය බ්‍රසීලයේ මෙතෙක් වැඩිම ආසාදිත අගය වාර්තා වූ දිනය වූ අතර, එහිදී නව ආසාදිතයන් 67,860ක් වාර්තා විය. මීට පෙර ජුනි 19දා ආසාදිතයන් 54,771ක් ලෙස වැඩිම ආසාදිත අගය වාර්තා වී තිබුණි. මේ සමග සමස්ත ආසාදිත අගය 2,227,514ක් දක්වා වැඩි වී තිබේ.
එසේම ගෙවීගිය දින ආසාදිත මරණ 1,284ක් සමග සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 82,771ක් දක්වා ඉහළ ගොස් තිබේ.