ලොව දෙවැනිවට වැඩිම කොවිඩ්-19 සහිත රට ලෙසත්, ලොව තෙවැනියට වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන රට ලෙසත් බ්‍රසීලයේ ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් මෙන්ම ජනතාව එන්නතක් බලාපොරොත්තුවෙන් සිටියදී එරට රජය ප්රමුඛ පාලකයන් දේශපාලනය කරමින් සිටින බවට චෝදනා නැගෙයි.
මෙහි අලුත්ම තත්ත්වය ලෙස බ්‍රසීල නායකයා පසුගිය සතියේ ෆයිසර් එන්නතින් ඇතිවිය හැකි අතුරු ආබාධ ගැන ප්‍රසිද්ධියේ සැකය වපුරා ඇති අතර, එය බ්‍රසීලයේ රජයට ගැති මාධ්‍යවල ප්‍රධාන සිරස්තල බවට පත්ව තිබේ.
"මේ එන්නත ලබාගැනීමෙන් පසුව, ඔබ කිඹුලෙක් බවට පත්වුවහොත් එය ඔබේ ගැටලුවයි" ඔහු අනතුරු ඇඟවීය. "ඔබ සුපර්මෑන් කෙනෙක් වුණොත් හෝ කාන්තාවක් ලෙස රැවුල වවාගෙන ගියහොත් හෝ පිරිමියෙකුගේ කටහඬ ආවොත්, නැතහොත් මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට වඩා නරක ලෙස ක්‍රියා කළොත්, මට ඒ ගැන කිසිම වගකීමක් ගන්න බෑ." ඔහු කිසිදු පදනමක් නැතිව පවසා තිබේ.
2021 දී බොල්සොනාරෝ රජයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX පහසුකම හරහා එන්නත් මාත්‍රාව මිලියන 43කට ආසන්න ප්‍රමාණයක් ලැබෙනු ඇති අතර, ෆයිසර් වෙතින් මාත්‍රාවන් මිලියන 70ක් සහ ජොන්සන් සහ ජොන්සන් එන්නත් මිලියන 38ක් ලබා ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇත. කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශයට අනුව, අවසාන එන්නත් දෙකේ බොහෝ මාත්‍රාවන් මේ වසරේදී ලබාගැනීමට අදහසක් නැත.
මේ අතර, රටේ වසංගත ප්‍රතිචාරය සම්බන්ධයෙන් බොල්සෝනාරෝ සහ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් අතර වසරක කටුක ගැටුම්වලින් පසුව මෙම ක්‍රියාවලිය තුළ සම්පූර්ණයෙන්ම දේශපාලනය දෝලනය වන බව කියැවෙයි. එහිදී චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගමේ එන්නත සාඕ පවුලෝ වෙත ලබාදෙන්නේ එම ප්‍රාන්තයේ එකඟතාවක් මතය. එහිදී දේශීයව බ්‍රසීලයේ විද්‍යාගාරයක් වන බුටැන්ටන් ආයතනය සමග එම එන්නත සංවර්ධනය කිරීමට සාඕ පවුලෝ ප්‍රාන්තය සහාය ලබාදෙන ලදී.
ඒ අනුව මේ වනතෙක් සමස්ත බ්‍රසීලය වෙත එන්නත් වැඩසටහනක් වෙනුවෙන් බොල්සොනාරෝ රජය තවමත් උනන්දුවක් නොදක්වන අතර, ඔහු තවමත් නව කොරෝනා වෛරසය සමග දේශපාලනය කරමින් සිටින බවට චෝදනා නැගෙයි.