බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවර ලොක්ඩවුන් විරෝධී උද්ඝෝෂණයකට සහභාගී වූ විරෝධතාකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මෙට්‍රොපොලිටන් පොලිසිය පවසයි.
රජය විසින් පැනවූ හදිසි කොරෝනා සීමාවන්ට විරෝධය දැක්වීම සඳහා හයිඩ් පිටියේ රැස්ව සිටි උද්ඝෝෂකයන් විසුරුවා හැරීමට පොලීසිය උත්සාහ කළ අවස්ථාවේදී විරෝධතාකරුවන් පොලීසිය සමග බහින්බස් වී තිබුණි.
කෙසේ වෙතත් මෙහිදී විරෝධතාකරුවන් මෙන්ම පොලිස් නිලධාරීන්ද මුඛ ආවරණ පැළඳ නොසිටි බවද විදෙස් වාර්තා පවසයි.
එහිදී විරෝධතාකරුවන්ට ඉවත්ව යන ලෙස පොලීසිය කියද්දී, "ඔබලා ගැන ලැජ්ජයි" යනුනේ විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන් සමග බහින්බස් වී ඇත.
බ්‍රිතාන්‍යයේ මහජන උද්ඝෝෂණ පිටුපස විපක්ෂ නායක ජෙරමි කෝබින්ද සිටින බව කියැවෙන අතර, ඔහුගේ සහෝදරයා වන පියර්ස් කෝබින්, සමාජ ජාලා වෙත අදහස් දක්වමින් වෛරසය සම්බන්ධයෙන් රජය පවසන්නේ මුසාවාද බව කියා සිටියේය.
"ඔවුන් අපට කියන්නේ වසංගතයක් ඇති බවයි. එය ඔබව මොළ සේදීම සහ ඔබව පිළිවෙලට තබා ගැනීමට කියන බොරු ඇසුරුමක්" යනුවෙන් පියර්ස් කෝබින් පැවසීය.
මෙසේ එරට විපක්ෂයේ පෙළඹවීම මත රැස්ව සිටි උද්ඝෝෂකයන් කෑ ගසමින් කියා සිටියේ, "අපේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම නවත්වන්න" යනුවෙනි. විරෝධතාකරුවන් අත වූ පුවරුවක දක්නට ලැබුණේ, "මට මුව ආවරණ පළඳවන්න, පරීක්ෂා කරන්න, සොයා එන්න, බෙහෙත් දෙන්න අවශ්‍ය වන්නේ නෑ. මට මෙය අලුත් සාමාන්‍ය තත්ත්වයක් වන්නේ නෑ" යනුවෙනි.
කෙසේ වෙතත් මේ වනවිට යුරෝපයේ වැඩිම කොරෝනා ආසාදිතයන් මෙන්ම මරණ වාර්තා වන රාජ්‍ය ලෙස ඉදිරියට පැමිණ ඇත්තේ මහා බ්‍රිතාන්‍යයයි. ලොව දෙවැනියට වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේද එරටිනි.
එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 35,000ක අගයට ආසන්න වෙමින් අද (17දා) උදෑසන වනවිට 34,546ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවද 250,000ක අගයට සමීප වෙමින්, අද උදෑසන වනවිට 241,461ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙහි වඩාත් කනගාටුදායක තත්ත්වය ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එරට සුවය ලබා ඇති පිරිස තවමත් දැක්වෙන්නේ 1,058ක් ලෙසිනි.