කොවිඩ්-19 පළමු රැල්ල අවස්ථාවේදී පසුගිය අප්‍රේල් මාසයේ අවසාන උච්චතම කාලයට වඩා කොවිඩ්-19 සහිත රෝගීන් දැන් එංගලන්තයේ රෝහල්වල ප්‍රතිකාර ලබන බවත්, මේ වනවිට එක්සත් රාජධානිය වසංගතයේ ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින බවත් විදෙස් වාර්තා පවසයි.
එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවයේ ප්‍රධාන විධායක නිලධාරි සයිමන් ස්ටීවන්ස් පවසන්නේ සෞඛ්‍ය සේවකයින් "කුණාටුවේ ඇසට හැරී ඇති" බවත්, සමහර රෝහල්වල දැඩි සත්කාර ඒකක උපරිම ධාරිතාවයට ආසන්න බවත්ය.
"අප බොහෝ දෙනෙකුට ඥාතීන්, මිතුරන්, සගයන් අහිමි වනු ඇති. බොහෝවිට සාමාන්‍යයෙන් අප සමරනු ලබන වසරකට වඩා, බොහෝ දෙනෙකුට තේරුම් ගත හැකි ලෙස කනස්සල්ල, කලකිරීම සහ වෙහෙස දැනේවි" ස්ටීවන්ස් පැවසීය.
20,000කට අධික පිරිසක් මේ වනවිට රෝහල්ගතව කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඉන් 5,000ක් ලන්ඩනයෙන් වාර්තා වෙයි. ගෙවීගිය දිනයේ රෝගීන් 53,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ අතර, එය එක්සත් රාජධානියේ නව දෛනික වාර්තාවකි.
එක්සත් රාජධානියේ නව සහ නැගී එන ශ්වසන වෛරස් තර්ජන උපදේශක කණ්ඩායමේ ඇන්ඩෘ හේවර්ඩ් බීබීසී ගුවන් විදුලියට අදහස් දක්වමින් අනතුරු ඇඟවූයේ, "මම හිතන්නේ අපි වසංගතයේ භයානක අවධියකට පිවිසෙමින් සිටිනවා. ජනවාරියේ සහ පෙබරවාරියේදී මහා විනාශයක් වැළැක්වීම සඳහා අපට ඉක්මන්, තීරණාත්මක ජාතික ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වෙනවා" යනුවෙනි.
"නව වෛරස ප්‍රභේදයත් සමග සම්ප්‍රේෂණ හැකියාව 50%ක් ඉක්මවා වැඩි වීම යනු පෙර වැඩ කළ සීමාවන් දැන් ක්‍රියාත්මක නොවන බවයි. එබැවින් අවශ්‍ය 4 වැනි ස්ථරය හෝ ඊටත් වඩා වැඩි ස්ථරයක් කරා යා යුතුයි. මම හිතන්නේ අපි ලොක්ඩවුන් එකකට ආසන්න තත්ත්වයක් දෙස බලමින් සිටිනවා." හේවර්ඩ් තවදුරටත් පැවසීය.