එක්සත් රාජධානිය සායනික අත්හදා බැලීම්වලින් බැහැරව ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදීම ඊයේ (08දා) සාර්ථකව ආරම්භ කර තිබේ.
මාස කිහිපයක් වැනි කෙටි කාලයකදී මිලියන සංඛ්‍යාත ජනතාවට එන්නත් ලබාදීම සඳහා පුළුල් මහජන සෞඛ්‍ය ව්‍යාපාරයක් මේ සමග දියත් වන බව එක්සත් රාජධානිය පවසයි.
එය මේ වනවිටත් මිලියන 1.5කට වඩා ජීවිත අහිමිව ඇති කෝවිඩ් -19 වෛරසයට එරෙහි සටනේ සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි.
එලැඹෙන සතියේ 91 වැනි වියට පා තබන මාග්‍රට් 'මැගී' කීනන්, මේ අනුව බලයලත්, පූර්ණ පරීක්ෂාවක් සිදුකළ කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතක් ලබාගත් ලොව ප්‍රථම පුද්ගලයා බවට පත්විය.
"මට ප්‍රාර්ථනා කළ හැකි හොඳම මුල් උපන්දින තෑග්ග එයයි" යැයි කීනාන් එංගලන්තයේ කොවෙන්ට්‍රි හිදී තම එන්නත ලබාගැනීමෙන් සුව කියා සිටියාය. "එයින් අදහස් කරන්නේ අවුරුද්දේ වැඩි කාලයක් තනිව හුදකලාව සිටීමෙන් පසු අලුත් අවුරුද්දේ මගේ පවුලේ අය සහ මිතුරන් සමග කාලය ගත කිරීමට බලාපොරොත්තු විය හැකි බවයි." නත්තල් ටී ෂර්ට් එකකින් සැරසී සිටි ඇය වැඩිදුරටත් කියා සිටියාය.
එක්සත් රාජධානියේ එන්නත් ලබාගත් දෙවැන්නා වූයේ 81 හැවිරිදි විලියම් ෂේක්ස්පියර් ය.
කීනාන් සහ ෂේක්ස්පියර් බ්‍රිතාන්‍යය පුරා විසිරී සිටින අවුරුදු 80ට වැඩි අතළොස්සක් දෙනා අතර එන්නත ලබාගැනීමට වාසනාවන්ත වූ දෙදෙනෙකි. එමෙන්ම සාත්තු නිවාස කාර්ය මණ්ඩලය සහ සෞඛ්‍ය සේවා සේවකයින්ටද ඊයේ උදෑසන ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා ලබාදීම ආරම්භ වී තිබුණි.