කුඩු නඩුවක විත්තිකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා මින් ඉදිරියට එවැනි දෙයක් සිදුනොවීමට ලිඛිතව පොරොන්දු වෙමින් ඉදිරිපත් කළ ලිපිය මැගසින් බන්ධනාගාර අධිකාරීවරයා කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට අද (09දා) බාර දුන්නේය.
‘කොවිඞ්’ වසංගතය මර්ධනය කිරීම සඳහා විශේෂ රැස්වීමකට සහභාගී වීම නිසා කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාට පෞද්ගලිකව අධිකරණයේ පෙනී සිටීමට හැකියාවක් නොමැති බවද ඔහු වෙනුවෙන් පෙනී සිටි මැගසින් බන්ධනාගාර අධිකාරීවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී මීට පෙර අවස්ථාවක අධිකරණයට ඉදිරිපත් නොකළ කුඩු නඩුවේ විත්තිකාර සෙල්වරාජා සහදේවන් නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
කුඩු නඩුවක විත්තිකරුවකු අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙස මීට පෙර අවස්ථාවකදී කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියම කරමින් නිකුත් කොට තිබු නොතිසියකට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් මැගසින් බන්ධනාගාර අධිකාරීවරයා අධිකරණයේ පෙනී සිටියේය.