මෙවර උසස් පෙළ විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශය අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමන් පිළිකුලෙන් යුතුව හෙළා දකින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
“ජාතික හෝ ජාත්‍යන්තර හෝ කුමන ආකාරයකින් එකම විභාගයට පෙනී සිටි විභාග අපේක්ෂකයන්ට ප්‍රතිඵල නිකුත් කිරීමේ දී පාසල , ජාතිය ආගම කුලය අනුව වෙන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රම වේදයක් ප්රජාතන්ත්රවාදී ජන සමාජයක ය කිසි සේත් නොමැති බව සිහිපත් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි. එමෙන් ම විභාග පැවැත්වීමේ දී සහ ප්‍රතිඵල නිකුත් කිරීමේදී විභාග දෙපාර්තමේන්තුවට එවැනි අකටයුතුකම් සිදු කිරීමට නොහැකි බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට සිහිපත් කර දීමට කැමැත්තෙමි.
බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන ආකාරයට ඔහු අධ්‍යාපන අමාත්‍යධූරය දැරූ කාලවකවානුවේ දී ප්‍රතිඵල නිකුත් කිරීමේ දී කිසිදු අවස්ථාවක ජාත්‍යන්තර පාසල් වල දරුවන්ට ඉහළ ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලබා නොදුන් බවට හැඟවෙන ප්‍රකාශයක් සිදු කිරීම මගින් ඔහු යම් ආකාරයකින් විභාග දෙපාර්තමේන්තුවේ ඇගයීම් කටයුතු වලට අනිසි මැදිහත්වීමක් සිදු කර ඇද්දැයි සැක සංකා මතු වීම වැළැක්විය නොහැක.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පුද්ගලික පාසල් සම්බන්ධීකරණය කිරීමේ අංශයක් බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යධූරය දරන සමයේ ද පවත්වාගෙන ගොස් තිබූ බව නොරහසකි. එමෙන් ම ඔහු අධ්‍යාපන අමාත්‍යධූරය දැරූ සමයේ ජාත්‍යන්තර පාසල්වල සිසු දරුවන්ද පාසල් මට්ටමේ කඩඉම් විභාගවලට පෙනී සිටිමින් ප්රතිඵලලාභීන් අතර ඉහළ ස්ථාන හිමි කර ගෙන තිබූ බව නිලධාරීන් විසින් මා හට තහවුරු කර තිබේ. අවශ්‍ය ඕනෑම මොහොත එම කරුණු ඉදිරිපත් කිරීමට හැකි බවද ඔවුන් මා වෙත දන්වා තිබේ.”