බදුල්ල සිට මහනුවර රජ මාවත දක්වා යාමට කෙටිම හා විකල්ප මාර්ගයක් ලෙස බදුල්ල මහනුවර රජ මාවත දක්වා වූ මාර්ගයේ ඉදිකිරීම් යටතේ හාලිඇල සිට මස්පන්න දක්වා පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නියෝජ්‍ය සංවිධායක ඩිලාන් පෙරේරා යන මහත්වරුන්ගේ ඉල්ලීම පරිදි මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව හාලිඇල සිට කැටවල, මස්පන්න, කීර්ති බණ්ඩාරපුර දක්වා කොටස ඉදිකිරීමෙන් පසු ජනතාවට බදුල්ල සිට මහනුවර රජ මාවත දක්වා ගමන් කිරීමට මෙම මාර්ගය භාවිතා කළ හැක.
එහි පළමු අදියර ලෙස හාලිඇල මස්පන්න දක්වා වූ කොටසේ කිලෝ මීටර් 25 ක දුරක් ඉදිකිරීම ආරම්භ කෙරිණි. මේ සඳහා රුපියල් මිලියන 1,375 ක පමණ මුදලක් වැය වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම මාර්ගය ක්‍රිස්තු වර්ෂ 1634 තරම් දිගු ඉතිහාසයකට උරුමකම් කියයි. ක්‍රි.ව 1634 – 1638 දක්වා කාලයේ ඌවේ රජකල ප්‍රාදේශීය නායකයකු වූ කුමාරසිංහ රජු විසින් බදුල්ල සිට මහනුවර රජවාසල දක්වා ගමන් කිරීමට යොදාගත් මාර්ගයයි. දැඩි ලෙස අබලන් වී ඇති මාර්ගය වසර 13 කට පසු ඉදිකිරීම් ආරම්භ කිරීම මෙම ප්‍රදේශයේ ජනතාවට පැවති ප්‍රධාන ගැටළුවකට විසදුම් ලබා දීමකි.