භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේ සිද්ධීන්ට අදාළව පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ දුරකතන සංවාද මකා විකෘති කොට කොමිසමට භාර දෙන ලදැයි කියන හඩපට වලට අදාළ ඞී.වී.ඞී. පට පරීක්ෂා කොට ලබන 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂවරයාට නියම කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය එදින අධිකරණයේ පෙනී සිටින ලෙස පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් අලෝසියස් ඇතුළු එහි හිටපු නිලධාරීන් සිව්දෙනකුට අද (28) නියම කළාය.
භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී යම් අක්රමිකතාවයක් සිදුවී ඇත්දැයි සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමට පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම විසින් ඉදිරිපත් කළැයි කියමින් රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ ඞී.වී.ඞී. පට රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරමින් මහෙස්ත්රාත්වරිය එලෙස නියම කළාය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැදවනු ලැබු අවස්ථාවේදී අධිකරණයෙන් නිකුත් කොට ඇති නොතිසි වලට අනුව පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිටපු අධ්යක්ෂ අර්ජුන් අලෝසියස් එහි හිටපු ප්රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පලිසේන, හිටපු ප්රධාන ගැනුම්කරු නුවන් තිළිණ සල්ගාදු සහ එහි තොරතුරු තාක්ෂණ නිලධාරී සජිත් දේවතන්තී්ර යන මහත්වරුන් අධිකරයේ පෙනී සිටියහ.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට අදාළව පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහය විසින් ලබා දෙනු ලැබු තවත් හඩපටයක් බව කියමින් ඞී.වී.ඞී. පටයක් අධිකරණයට ඉදිරිපත් කළේය.
පසුගිය ජුනි මස 29 වැනදා අධිකරණ නියෝග මත පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහය විසින් ලබා දෙනු ලැබු හඩපට ඇතුළත් ඞී වී ඞී තැටි ආණ්ඩුවේ සැකකටයුතු ලේඛණ පිළිබද පරීක්ෂකවරයා වෙත යොමු කරනු ලැබූ බවත් එම හඩ පට සමග නැවත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන හඩ පට සන්සන්දනය කළ යුතුව ඇතැයි දැනුම් දුන් රහස් පොලිසිය ඒ සඳහා අවසර දෙන්නැයි ඉල්ලීමක් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ අධිකරණය මෙම පැමිණිල්ල ලබන මස 25 වැනිදා යළි කැදවීමටද නියම කළාය.