හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ මුහුදේ සිට බත්තල මත ඉදිකරන ලද බලාගාර දෙකකින් මෙගා වොට් 400ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණද, එය ලබා ගැනීමේ අර්බුදයක් පවතින බව %අද^ පුවත්පතට වාර්තා වේ.
ඒ අනුව කෙරවලපිටියේ ස්ථාපිත කර ඇති බත්තල මත ඉදිකරන ලද මෙගාවොට් 200ක බලාගාරය මගින් ලබන ජුනි මාසයේ සිට ඉදිරි මාස හයක කාලයක් සඳහා විදුලි ඒකකයක් රුපියල් 26 ශත 20 බැගිනුත්, ගාල්ලේ ස්ථාපිත කර ඇති බත්තල මත ඉදිකරන ලද මෙගාවොට් 200 ක බලාගාරය මගින් ලබන සැප්තැම්බර් මාසයේ සිට ඉදිරි මාස 09ක කාලසීමාවක් සඳහා විදුලි ඒකකයක් රුපියල් 26 ශත 20 බැගිනුත් මිලදී ගැනීමට නියමිතය.
එසේ වුවද කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම මිලදී ගැනීම් සිදු කිරීමට යෑම හේතුවෙන් කැබිනට් මණ්ඩලයේදී අමාත්‍යවරුන් මෙයට විරෝධය පළකර ඇති බවද වාර්තා වේ.
බත්තල මත ඉදිකරන ලද බලාගාර දෙකකින් මෙලෙස විදුලිය මෙගා වොට් 400ක් ලබා ගැනීමට සූදානම් වුවද, එම සියලුම විදුලි ප්‍රමාණය ලංකා විදුලිබල මණ්ඩල විදුලි පද්ධතියට සම්ප්‍රේණය කිරීමේ හැකියාව නොමැති බවද මේ සම්බන්ධයෙන් පත්කළ අනුකමිටුවේදී අනාවරණය වී ඇත.
මෙම ගිවිසුම ක්‍රියාත්මක කළ හොත් විදුලිබල මණ්ඩලයට දැවැන්ත පාඩුවත් අත්විඳීමට සිදුවන බවට ගණන් බලා ඇති අතර, මේ වනවිට රජයෙන් විදුලිය මෙගා වොට් 320ක් ලබාදී ඇති බැවින් රට තුළ විදුලි අර්බුදයක් නොමැති බවද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.
විදුලිබල ක්ෂේත්රයේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුමක් ලෙස හදිසි විදුලි මිලදී ගැනීම් ලෙස ලබන වසරේ මැයි මාසය දක්වා මෙම බලාගාර දෙකෙන් විදුලිය මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
වර්තමානයේ ඇතිවී තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු කෙටි, මධ්‍ය හා දිගු කාලීන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති අමාත්‍ය මණ්ඩල කමිටුව මගින් නිර්දේශ කර ඇති පරිදි මෙම විදුලිය මිලදී ගැනීමට නියමිතය.
ඒ අනුව බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට එම කමිටුව නිර්දේශ කර ඇති අතර, මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව ඇත.
මේ අතර, මීට ඉහතදී හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ විදුලිය මෙගා වොට් 170ක් මිලදී ගැනීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබිණි.