බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 අවසන් වීමට පෙර නිම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.
2014 වසරේ ආරම්භ කළ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2017 දී අවසන් කිරීමට සැලසුම් කර තිබිණ. ඉදිකිරීම් සිදු නොවීම නිසා සැලසුමේ බොහෝ අංග වර්තමානයට නොගැළපෙන බව ක්ෂේත්රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.
2023 වසරට ගැළපෙන අයුරින් සියලු තාක්ෂණික පහසුකම් සහිතව සුහුරු ගුවන් පර්යන්තයක් ( Smart Terminal) ලෙස එහි සංවර්ධන කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ පවසයි.
ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
කොවිඩ් වසංගතයත් සමග අන්තර්ජාතික ගුවන් ගමන් අඩාලවීමෙන් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවාවන්ට බලපෑ අහිතකර තත්ත්වය හමුවේ ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණ.
ගුවන් තොටුපොළ කාර්යයන් අඩපණව තිබීම ප්‍රයෝජනයට ගෙන දිවා රාත්‍රී වැඩකර ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන්නැයි රාජපක්ෂ උපදෙස් දුන්නේය.
දෙවන පර්යන්තයේ ඉදිකිරීම් අවසන් වීමත් සමග වසරකට ගුවන් මගීන් මිලියන 15කට අධික සංඛ්‍යාවකට සේවා සහ මෙහෙයුම් පහසුකම් සැපයේ. පිටවීමේ සහ පැමිණීමේ පර්යන්ත අංශ දෙකක් ලෙස ක්‍රියාත්මකවීම ද ඒ සමගම ඇරඹේ. ඊ-ගේට් පහසුකම් ඔස්සේ මගීන්ට කාර්යක්ෂම සේවාවක් සැලසීමට ද සැලසුම් කර තිබේ.
ඊට සමගාමීව වාහන නැවතුම් අංගනයද ගුවන් තොටුපොළට යාබද භූමියක ඉදි කෙරේ. මත්තල ගුවන් තොටුපොළ ජනවාරි සිට මේ දක්වා ගුවන් මෙහෙයුම් 270ක් සිදු කර ඇති අතර ඉන් සේවාව ලැබූ මගීන් සංඛ්‍යාව දොළොස්දහසකට අධිකය. ඉදිරියේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවය මත්තල ගුවන් තොටුපොළේ සිට සතියකට ගුවන් වාර 07ක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බව අනාවරණය කෙරිණ.