දේශීය බඩඉරිඟු ගොවීන්ගෙන් මිල දී ගන්නා බඩඉරිඟු කිලෝවකට රු. 40ක සහතික මිලක් ලබා දීමට යෝජනා වී තිබේ.
දේශීය බඩඉරිඟු ගොවීන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බඩඉරිඟු සඳහා සහතික මිලක් ලබා දීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ (20දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති අවස්ථාවේදී මේ පිළිබඳව යෝජනා වි තිබේ..
ශ්‍රී ලංකාවට බඩඉරිඟු ආනයනය කිරීම සඳහා වාර්ෂික වැය කෙරෙන මුදල රු. මි. 6500 ඉක්මවයි. සත්වාහාර සඳහා වැඩිපුර යොදා ගන්නේ බඩඉරිඟුය. එම කරුණු සැලකිල්ලට ගනිමින් දේශීය බඩඉරිඟු ගොවියා දිරිමත් කිරීම සඳහාත්, දේශීය බඩඉරිඟු වගාව ඉහළ නැංවීම සඳහාත් බඩඉරිඟු සඳහා සහතික මිලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව දේශීය බඩඉරිඟු කිලෝවක් සඳහා රු. 40ක සහතික මිලක් නියම කිරීමට යෝජනා ඉදිරිපත් ව ඇත. එසේ වුවත් මේ සම්බන්ධයෙන් අදාල පාර්ශව සමඟ සාකච්ඡා කර සහතික මිල සම්බන්ධයෙන් අවසාන නිගමනය තමන්ට ලබා දෙන්නැයි අමාත්‍යවරයා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම එම සහතික මිල රු. 40-50ත් අතර ප්‍රමාණයක වියයුතු යැයි තමන්ගේ අදහස බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
බඩඉරිඟු සඳහා සහතික මිලක් ලබා දීම සම්බන්ධයෙන් අදාල යෝජනාව ඉදිරි සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.