වර්තමානයට ගැළපෙන අයුරින් පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනය කිරීමට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී සකස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මෙරට ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමඟ අද (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“දරුවන්ගේ විශ්ලේෂණාත්මක බුද්ධිය, විවේචනාත්මකව සිතීමට දරුවන්ට ඇති හැකියාව වර්ධනය කිරීම ප්‍රධාන කරුණක්. අධ්‍යාපනය ගවේෂණයක්. ඒත් පවත්නා අධ්‍යාපන ක්‍රමය තුළ දරුවන්ට ඒ සඳහා ඉඩප්රස්ථා ලැබෙනුයේ අවම මට්ටමින්. ඒ නිසා දරුවන්ගේ උනන්දුව දියුණු වන අයුරින් අධ්‍යාපනයේ ව්‍යූහය සකස් කිරීමට අවශ්‍යයි. මෙය සියලු දෙනාගේ අදහස් ඇතිව කළ යුතුයි. අමාත්‍යාංශ මට්ටමින් අවසාන තීරණ ගැනීමට පෙර විෂයමාලා සංවර්ධනයට අදාළ ව දීපව්‍යාප්ත මට්ටමින් පුළුල් සංවාදයක් සිදුකරනවා, දිස්ත්‍රික් මට්ටමින්. ගුරුවරුන්, දෙමව්පියන්, සිසුන් ආදිශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන සහ ආගමික සංවිධානවල අදහස්, යෝජනා මේ සඳහා වැදගත් වෙනවා. ඒ සියල්ලක් ගැඹුරින් අධ්‍යයනය කරමින්, ඒ පිළිබඳ ඉදිරි තීරණ ගන්නවා..” යැයි ද පැවසීය.
මෙහිදී පැමිණ සිටි විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන ක්ෂේත්රය තුළ වර්තමානයේ දී සිදුවිය යුතුයැයි අදහස් කරන වෙනස්වීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කරන ලදී.
එමෙන් ම රැකියා අවස්ථා සම්බන්ධ ප්‍රමුඛතා පිළිබිඹු වන අන්දමින් විෂය නිර්දේශ ප්රතිසංශෝධනය විය යුතු ආකාරය පිළිබඳ සිය අදහස් දක්වන මෙන් අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ට ආරාධනය කළේය. උසස් පෙළ පන්ති සඳහා විෂයයන් ගණනාවකට ම පෙළ පොත් නොමැතිවීම හේතුවෙන් පැනනැගී ඇති ගැටලුකාරී තත්ත්වය ද ඒ සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි පිළියම් සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට බඳුන්විය.