ඉතා සුක්ෂම ලෙස ඇගළුම් කම්හල් සේවකයින්ට සහ අවට පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ මැදිරිගිරිය ඇගළුම් කම්හලේ සේවක සේවිකාවන් ප්රවාහනය කරන බස් රථයේ හිමිකරු කේරළ ගංජා පැකට් 76ක් සමග අද (02) උදෑසන අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මැදිරිගිරිය යාය 03 ප්රදේශයේ 28 හැවිරිදි විවාහක අයෙකි.
මෙම පුද්ගලයාට වෑන් රථයක් සහ බස් රථයක් ඇති බවත් එම රථ වාහන දෙක උපයෝගි කර ගනිමින් කලක පටන් ඉතා සුක්ෂම ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ.
වෑන් රථයේ සඟවා තිබු ගංජා පැකට් 71ක් සහ තම කලිසම් සාක්කුවේ තිබි ගංජා පැකට් 05ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
පොලීසියට ලද තොරතුරක් අනුව පොලීසිය විසින් ඇගළුම් කම්හල් සේවක සේවිකාවන් රැගෙන යන බස් රථයට උපාය දුතයෙකු යොදවා එම බස් රථයේ හිමිකරුගෙන් ගංජා පැකට් එකක් මුදල් ලබා දි ඉල්ලා තිබේ. පසුව ඔහු පවසා ඇත්තේ යාය 05ට පැමිණෙන ලෙසයි. පොලිස් උපාය දුතයා එම ස්ථානයට ගිය පසු රුපියල් 300ක් ලබා දුන් පසු එක් ගංජා පැකට් එකක් ලබා දි තිබේ.
පසුව අවට සැඟව සිටි පොලිස් නිලධාරීන් වහාම පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේ දි ඔහුගේ සාක්කුවේ තිබි කේරළ ගංජා පැකට් 5ක් තිබි ඇත.
නැවත වෑන් රථය පරික්ෂා කිරිමේ දි වෑන් රථයේ කුෂන් කවර (අපොස්ටින්) ගලවා බැලිමේ දි ගංජා පැකට් 71ක් තිබි හමුව තිබේ.
මෙම පුද්ගලයා කලක පටන් ප්රදේශයේ පාසල් දරුවන්ට සහ ඇගළුම් සේවකයන්ටත් වෙනත් තරුණයන්ටත් ගංජා අලෙවි කරන බවට ලද තොරතුරක් අනුව මෙම වැටලිම සිදු කර තිබේ.
මෙම පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් දුන් පමණින් එම ස්ථානයට ගංජා ගෙනවිත් දෙන බවත් ගංජා අලෙවි කිරිම සදහා වෙනම ජංගම දුරකථනයක් සහ සිම්පතක් තිබු බව පොලීසිය කළ පරික්ෂණ වලදි හෙළිවි තිබේ.
හිඟුරක්ගොඩ පියතිලක