පාස්කු ප්‍රහාරය පිළිබද කරුණු සෙවීමේ පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ලබාදුන් වාර්තාව ඒකපාර්ශ්වීය වාර්තාවක් බවත්, තේරීම් කාරක සභාව විසින් එහි වරද රාජ්‍ය බුද්ධි අංශය වෙත පැවරීමට උත්සහ ගෙන ඇති නමුත්, වත්මන් ආණ්ඩුව ඊට ඍජුවම වගකිව යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පවසති.
අද (24) රාජගිරිය සදහම් සෙවණේදී මාධ්‍ය හමුවක් කැදවමින් රතන හිමියෝ මේ බව පැවසූහ.
"මේ රටේ පහුගිය අප්‍රේල් 21 වෙනදා සිද්ධ වුණ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ලබාදුන් පාර්ලිමේන්තු නිර්දේශ පරස්පර විරෝධීයි. පළමුව කිව යුත්තේ මෙය දේශපාලන වශයෙන් ඒකපාර්ශවීය වාර්තාවක් බවයි. එජාපය, ජවිපේ හා TNA හා මුස්ලිම් කොන්ග්රසය යන මේ වන විටත් එක් කණ්ඩායමක් ලෙස කටයුතු කරන පිරිස තමයි මේ කමිටුවේ නියෝජනය කළේ. පාර්ලිමේන්තු වාර්තාව මඟින් නිවැරදි තොරතුරු වසන් කරලා තියෙනවා.
නවසීලන්තයේ මුස්ලිම් පල්ලියකට සිදු වූ ප්‍රහාරයෙන් පසුව සහරාන්ගේ කල්ලිය කතෝලිකයින් කෙරෙහි වෛරයෙන් පසුවන බවත් කුමන මොහොතක හෝ කතෝලික පල්ලි ඉලක්ක කරමින් ප්‍රහාරයක් ඇතිවිය හැකි බව 2019 මාර්තු මසදී රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානී විසින් ආරක්ෂක ලේකම්ට දැනුම්දීලා තියෙනවා.
එහෙත් රාජ්‍ය බුද්ධි අංශයේ අධ්යක්ෂ දිගින් දිගටම පවසා ඇත්තේ සහරාන් ලංකාවේ ජීවත් වන බවත් ප්‍රහාරයකට අර අදින බවයි. සහරාන්ගේ ප්‍රහාරය පිළිබඳව 2019 අප්‍රේල් 07 වනදා ලිඛිතව ආරක්ෂක ලේකම් දැනුවත් කර උපදෙස් ලබාදෙන ලෙස රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ ඉල්ලා තිබෙනවා. එහෙත් කිසිදු උපදෙසක් ලබාදී නෑ.
එම අවස්ථාවේ අදාල අංශවලට හරි උපදෙසක් ලබාදුන්නා නම් ප්‍රහාරය වලක්වාගන්න තිබුණා. අප්‍රේල් 09 වනදා පැවැති බුද්ධි අංශ රැස්වීමේදී යළිත් වාචිකව දැනුම් දීලා තියෙනවා. තත්ත්වය මෙසේ තිබියදී අප්‍රේල් 16 වනදා පැවැත්වීමට තිබූ බුද්ධි අංශ රැස්වීම අවලංගු කර ආරක්ෂක ලේකම් ඇතුළු ඉහල නිලධාරීන් සැප ගන්න දුර බැහැර හෝටල්වලට ගියා.
සහරාන් ඇතුළු ඉස්ලාම් අන්තවාදීන් 94 දෙනෙකුගේ නම් 2017 වසරේ දී ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට යවලා තියෙනවා. 2019 ජනවාරි 26 වනදා නැවතත් 126කගේ නම් ලැයිස්තුවක් යවලා තිබෙනවා. මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිදුවීම, වනාතවිල්ලුව අවි ගබඩාව, මාවනැල්ලේ පුද්ගලයෙකු ඝාතනය යන සිදුවීම් සහරාන්ගේ බවට රාජ්‍ය බුද්ධි අංශය දිගින් දිගටම වාර්තා කරලා තියෙනවා.
සහරාන් ඇතුළු කල්ලිය විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා අත්අඩංගුවට ගතයුතු බව දන්වා 2018 මැයි මාසයේදී විෂයභාර ඇමති රංජිත් මද්දුම බණ්ඩාරට සහ පොලිස්පතිට රාජ්‍ය බුද්ධි අංශය මඟින් ලිපියක් යොමුකරලා තිබෙනවා. ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී තවත් බෝම්බ දෙකක් ඇති බව දැනුම්දී ඇත්තේද රාජ්‍ය බුද්ධි අධ්යක්ෂ විසින්.
රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකට අමතරව යුධ හමුදා බුද්ධි අංශය, නාවික බුද්ධි අංශය, ගුවන් බුද්ධි අංශය, පොලිස් විශේෂ බුද්ධි අංශය, බස්නාහිර පළාත් බුද්ධි අංශය, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, ප්‍රදේශ භාර DIG/ SSP/ ASP/ OIC ආදිය යටතේ ඇති බුද්ධි අංශ ඇතුළු අංශ ගණනාවක් තිබියදී රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්ෂකව දේශපාලනිකව සිර කිරීමට ගන්නා උත්සහය හෙළා දැකිය යුතුය.
එජාප ආණ්ඩුව හැමදාම රටේ බුද්ධි අංශ අඩපන කළා. බුද්ධි නිලධාරීන්ගේ ජීවිත අවධානමට දැම්මා. සමස්ත ආණ්ඩුවම මේ පිළිබදව වගකිව යුතුයි. රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා පාර්ලිමේන්තුවට ගෙන්නලා මේ ගැන ප්‍රශ්න කළ යුතුයි." යනුවෙන් පැවසූහ.
නවෝද්‍යා පවනි