පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීම සඳහා හය දෙනෙකුගෙන් යුත් කාර්ය සාධන බළකායක් පත්කළ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර තිබෙන මෙම කාර්ය සාධක බළකාය මගින් සතියකට වරක් ආරක්ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙත වාර්තාවක් ලබාදිය යුතුව තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශන කඩිනම් කිරීම උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම කාර්ය සාධන බළකාය පිහිටුවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
පසුගිය වසරේ අප්‍රේල් 21 වැනි දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු 80%කින් අවසන් වී තිබෙන බවට පසුගිය සතියේදී නීති කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් ප්‍රකාශ කරනු ලැබීය.
එම පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කර, අදාළ නීතිමය කටයුතු සිදුකරන බවට එහිදී ප්‍රකාශ වූ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී මේ වනවිට මාස 10කට අධික කාලයක් ගතවී තිබේ.
මෙම ප්‍රහාරය හේතුවෙන් දේශීය පුද්ගලයන් දෙසිය හතළිස් අටක් හා විදේශීය ජාතිකයන් තිහක් ඇතුළත්ව පුද්ගල මරණ දෙසිය හැත්තෑ අටක් සිදුවී තිබෙන අතර, දේශීය පුද්ගලයන් පන්සිය හැටහතක් හා විදේශිකයන් විසි හතක් ඇතුළත්ව පුද්ගලයන් පන්සිය අනූහතරක් තුවාල ලබා තිබේ.