පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා කරුණු වාර්තා කිරිමේ විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරිමේ කාල සීමාව සැප්තැම්බර් 30 වැනිදා දක්වා දීර්ඝ කිරිමට අද (21) දිනයේදී පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණි.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව මෙම අවසරය ඉල්ලා සිටින බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාවට දැනුම් දුන්නේය.
2019 මැයි 22 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යෝජනාවක් අනුව මෙම විශේෂ කාරක සභාව පත් කළේය.
මේ අතර කාරක සභාව හමුවට පැමිණීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියක් යැවිමට කාරක සභාව තීරණයක් ගෙන තිබුණද එය යවා නැතැයි ජනතා විමුක්ති පෙරමුණෙ මන්ත්‍රි බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
කාරක සභාව ජනාධිපතිවරයාට දැනුම්දීම් සිදුකරන දිනයක් ගැන සඳහන් කරන ලෙස මන්ත්‍රිවරයා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
එය කාරක සභාවට අයිති කාර්යයක් බවත්,මේ සම්බන්ධව කාරක සභාවේ සභාපති , නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ අවධානයට යොමුකරන බවත් කථානායකවරයා මෙහිදි පැවසීය.