පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පිරිස්වලට අයත් රුපියල් මිලියන එකසිය තිස් හතරක් බැංකු ගිණුම්වල තිබී සොයාගෙන තිබෙන බවත්, එම ගිණුම් අත්හිටුවා තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සඳහන් කළේය.
මීට අමතරව රුපියල් බිලියනයකට අධික දේපළ මේ වනවිට සොයාගෙන තිබෙන බවද අබේසේකර මහතා සඳහන් කළේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට හැටතුන් දෙනෙකු (63) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටින බවත්, සහරාන් හෂීම්ට සම්බන්ධ පිරිස්වලින් 90%ක් පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.
ප්‍රහාරයට සම්බන්ධ මොහොමඩ් සහරාන් මියගිය බවට ඩී.එන්.ඒ. පරීක්ෂණවලින් තහවුරු කර තිබෙන බවත්, අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණ තවදුරටත් සිදුවන බවත් ඔහු කියා සිටියේය.
මොහොමඩ් සහරාන්ලා ISIS සංවිධානයට සම්බන්ධ බවට තහවුරු වී නොමැති බවත්, ඔවුන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත්ව කටයුතු කිරීමට සැලසුම් කර තිබෙන්නේ කෙටිකාලයක් තුළ බවත් හෙතෙම සඳහන් කළේය.