පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගේ සහයෝගය මත සිදු කළැයි කියන මෙරට කුඩු ජාවාරමේ මහමොළකරු වන ඩුබායි රටේ ජීවත්වෙන පාතාල අපරාධකරුවකු වන උදාර සම්පත් නමැත්තා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එස්.කේ. කාහිංගල මහත්මිය ඒ සඳහා වරෙන්තුවක්ද නිකුත් කළාය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරීස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම කුඩු ජාවාරමේ මහමොළකරු උදාර සම්පත් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා මෙලෙස වරෙන්තු නිකුත් කළාය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබු අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන බව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.
පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසිය විසින් අධිකරණයට දැනුම් දුන්නේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රහස් පොලිස් නිලධාරීන් අධිකරණය අමතමින් මෙම සිද්ධියට අදාළව මහජන බැංකුවේ පවත්වාගෙන යන ගිණුමක් සම්බන්ධයෙන් ආරම්භ කොට ඇති විමර්ශන තවදුරටත් සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් අතර සැකකරුවන් භාරයේ තිබූ රුපියල් පනස් ලක්ෂ පන්දාහක මුදලක් අධිකරණයට ඉදිරිපත් කරමින් එම මුදල්ද ගිණුම් ගත කිරීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
ඒ සඳහා අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ලබන 22 වැනිදා යළි කැඳවීමට නියම කළාය.