ත්‍රස්ත කටයුතු වෙනුවෙන් ආධාර අනුබල දීමේ චෝදනාවට සැක පිට අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වහාම මුදාහරින්නැයි ඉල්ලා අද (20) පලෙයි ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් හා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පලෙයි රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
පලෙයි රෝහලේ සිටි දක්ෂ වෛද්‍යවරයාට කිසිඳු පදනමක් නොමැතිව ත්‍රස්ත චෝදනා එල්ල කරමින් අසාධාරණ ලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් වහාම ඔහු නිදහස් කර යළි පලෙයි රෝහල වෙත සේවයේ පිහිටුවන ලෙස රජයට බලකරමින් මන්ත්‍රීවරුන් හා ප්‍රදේශවාසීන් විසින් මෙසේ විරෝධතාවයේ නිරත විය.
පසුගිය 18 වැනිදා දෙමළ ඩයස්පෝරාව හා විවිධ ත්‍රස්ත කටයුතු වලට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සින්නතම්බි ශිවරූබන් නැමති පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව යාපනයේ ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාරදෙනු ලැබීය.
කෙසේ වෙතත් වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් රෝහලේ සායනික කටයුතු ඇතුළු දෛනික කටයුතු වෙතට දැඩි බලපෑමක් එල්ල වී ඇති හෙයින්ද රෝගී ජනතාව පීඩාවට පත් නොකර වහාම වෛද්‍යවරයා නිදහස් කරන ලෙසින්ද විරෝධතාකරුවන් වැඩි දුරටත් පැවසූහ.