මධ්‍යම කඳුකරය පුරා ඊයේ 06 සවස් කාලයේ සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් අද වනවිට විවෘත කර තිබේ.
පොල්ගොල්ල ජලාශය භාර ඉංජිනේරු කාර්යාලය ප්‍රකාශ කළේ, පොල්ගොල්ල ජලාශයේ හැරවුම් වේල්ල මගින් උකුවෙල බෝවතැන්න ජලවිදුලි බලාගාරය වෙත යවනු ලබන ජල ප්‍රමාණය සියයට 50කින් අඩු කර එම ජලයද ගඟ දිගේ වික්ටෝරියා ජලාශය වෙත මුදා හරින බවයි.
මේ හේතුව නිසා මහවැලි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යන බැවින් කිසිදු හේතුවක් නිසාවත් ගඟට බැසීමෙන් වළකින ලෙසත් සතුන් ගඟට දැමීම නොකරන ලෙසත් දරුවන් දිය නෑමට හෝ වෙනත් කිසිදු හේතුවකට ගඟට නොයවන ලෙසත් ඉංජිනේරු කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අද 07 වනදා උදේ වන විට පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි හතර බැගින් විවෘත කර තිබූ අතර එමගින් තත්පරයකට ඝණ අඩි 2100 ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හරිමින් ඇති බවත් සවස් වන විට මෙම ජල ප්‍රමාණය ඉහළ යාමට හැකි බැවින් ජනතාව වඩාත් අවදියෙන් සිටිය යුතු බවත් ඉංජිනේරු කාර්යාලය ඉල්ලා සිටියි.