කිසිදු අවස්ථාවක වනාන්තර විනාශ කරමින් හා පරිසර හානි කරමින් වගා කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී නොමැති බවත් ඇතැම් වන විනාශන් හා පරිසර හානි කිරීම් පසුපස සිටින්නේ ජාවාරම්කාරයින් හා නිලධාරින් පිරිසක් යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
“මෙම රජය යටතේ දැවැන්ත වන විනාශයක් හා පරිසර විනාශයක් සිදුවන බවට ඇතැම් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල ප්‍රචාරයක් ගෙන යනවා. ජනාධීපතිතුමන් සහභාගි වන “ගම සමග පිළීසඳර” වැඩ සටහනේ දී අහිංසකයින් ගොවියන් ඔවුන් වගා කළ සමහර අනවසර ඉඩම් යළි වගා කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලීම් කරනවා. එවැනි අවස්ථාවල ජනාධීපතිතුමා උපදෙස් දී තිබෙන්නේ එවැනි අහිංසක ගොවින්ගේ ඉල්ලීම්වලට කන් දෙමින් ඊට ඉඩ සලසන ලෙසයි.
ඒ වගේම සමහර පුද්ගලයින් නීත්‍යානුකූලව ඔවුන් සතුව පැවැති එහෙත් මෙතෙක් වගා නොකළ ඉඩම් නැවත වගා කිරීමට කටයුතු කර තිබෙනවා. මම දන්න විදියට සමහර විට අක්කර 10,15 වැනි විශාල ඉඩම් ඔවුන් සුද්ද කර බඩඉරිගු වගා කිරීමට කටයුතු කර තිබෙනවා. එවැනි අවස්ථාත් ඇතැම් සමාජ මාධ්‍ය මගින් වන විනාශයන් ලෙස හුවා දක්වන නමුත් එහි සත්‍යතාවයක් නැහැ.
මම පෙරේදා (10) අතිගරු ජනාධිපතිතුමාට සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වැලි, කළුගල්, පස් හා මැටි සම්බන්ධව තාක්ෂණික වාර්තාවක් ලබා දුන්නා. ඒ අවස්ථාවේ මම මේ සම්බන්ධව ජනාධිපතිතුමාට කරුණු ඉදිරිපත් කළා. නමුත් එතුමාත් මට කිව්වේ තමන් කිසිවිටෙක පරිසරය විනාශ කරමින් වගා කරන්න හෝ සංවර්ධන කටයුතු සිදු කරන්නට උපදෙස් දී නැහැ කියායි.
නමුත් පැහැදිළිවම මාධ්‍ය විසින් හෙළි කරන ඇතැම් පරිසර විනාශයන් හි සත්‍යතාවයක් තිබෙනවා. ඒවා සිදු වන්නේ රජයේ අනුදැනුමකින් හෝ රජය දුන් උපදෙස් මත නොවෙයි. ඒවා සිදු කරන්නේ සමහර ජාවාරම්කරුවන් විසින්. ඒ සඳහා සමහර ප්‍රාදේශීය දේශපාලනඥයිනුත් හවුල් වී ඇති බව පෙනෙනවා.
නමුත් අසත්‍ය කරුණු විශාල ප්‍රමාණයක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීම මත ඇත්ත සිදුවීම් වැසී යනවා. ඒක හොඳ තත්ත්වයක් නොවන බව මම ජනාධිපතිතුමන්ට පෙන්වා දුන්නා. එතුමා ප්‍රකාශ කළේ පරිසරය විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබළා දඩුවම් ලබා දෙන ලෙස අදාල සියලු අංශවලට උපදෙස් ලබා දී ඇති බව”.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පවසා සිටියේ ඊයේ ( 11) පරිසර අමාත්‍යාංශයේ දී පරිසර මාධ්‍යවේදීන් පිරිසක් හා පරිසර වේදීන් පිරිසක් හමු වෙමින් සිදු කළ සාකච්ඡාවක දීය.