ප්‍රංශ ජනාධිපති එමානුවෙන් මැක්රොන් ප්‍රංශය දිරාපත්වීම මූර්තිමක් කළ තැනැත්තා බවත්, ප්‍රංශය සමග කුණුවූ සියල්ල ඔහු නියෝජනය කරන නිසා තමා ජනපතිට කම්මුල් පහරක් එල්ල කළ බවත් මැක්රොන්ට කම්මුලට ගැසීම නිසා අත්අඩංගුවේ පසුවන තැනැත්තා උසාවියේදී පාපොච්චාරණය කරයි.
28 හැවිරිදි ඩේමියන් ටැරල් නමැති මොහු, වැලෙන්ස්හි අධිකරණයේදී වැඩිදුරටත් කියා සිටියේ මැක්රොන් ගිනිකොන දිග ඩ්රෝම් කලාපයට පැමිණීමට දින කිහිපයකට පෙර තමා බිත්තර හෝ අයිසිං කේක් ප්‍රහාරයක් හෝ ජනාධිපතිවරයා වෙත එල්ල කිරීමට සැලසුම් කර සිටි බවයි.
"මම හිතන්නේ මැක්රොන් අපේ රටේ දිරාපත්වීම ඉතා පිළිවෙලට නියෝජනය කරනවා" ඔහු අධිකරණයට පැවසීය. "මම මැක්රොන්ට හිරු උදාවේදී ද්වන්ධ සටනකට අභියෝග කළා නම්, ඔහු ඊට ප්‍රතිචාර දක්වනු ඇතැයි කියා මා සිතන්නේ නැහැ." ඓතිහාසික යුරෝපීය ආත්මාරක්ෂක සටන් කලාවද ප්‍රගුණ කර ඇති ඔහු වැඩිදුරටත් පැවසීය.
ජනාධිපති මැක්රොන් පසුව මෙම ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් ලෙස විස්තර කළ අතර ප්රචණ්ඩත්වය සහ වෛරය ප්රජාතන්ත්රවාදයට තර්ජනයක් බව පැවසීය.
කෙසේ වෙතත් රජයේ නිලධාරියෙකුට පහරදීමේ චෝදනාවකට ඩේමියන්ට මුහුණ දීමට සිදුවන අතර, එය වසර තුනක සිරදඬුවමක් සහ යුරෝ 45,000ක දඩයකට යටත්වීමකි.
ඔහු අඟහරුවාදා මැක්රොන්ට පහර දුන්නේ, වසංගතයෙන් පීඩාවට පත් ජනතාව සමග කතාබහ කර, එලැඹෙන 2022 ජනාධිපතිවරණයට පෙර ජනතාවගේ හදවත දිනාගැනීමේ සංචාරයකට ජනාධිපතිවරයා සහභාගි වී සිටියදීය.
එහිදී රැස්ව සිටි සුළු පිරිසකට ආචාර කිරීමට පැමිණි අවස්ථාවේදී ආරක්ෂක බාධකයක් පිටුපස සිටගෙන සිටි ඩේමියන් කරා මැක්රොන් ළඟා වෙත්ම "මැක්රොන් භංග වේවා" යැයි කෑ ගසා ගසමින් ඔහු ජනාධිපතිවරයාට වේගවත් කම්මුල් පහරක් එල්ල කළේය.
එසේම ප්‍රංශය රාජාණ්ඩුවක්ව සිටියදී හමුදාවේ සටන් පාඨයක් වූ "මොන්ට්ජෝයි සෙන්ට් ඩෙනිස්" යනුවෙන්ද ඔහු එම අවස්ථාවේදී කෑ ගැසීය.
"එය දේශප්‍රේමියෙකුගේ සටන් පාඨයක්" ඩේමියන් අධිකරණයට පැවසීය.
රැකියා විරහිතව සිටින 28 හැවිරිදි මෙම තැනැත්තා පොලීසිය වෙත පවසා තිබුණේ, තමා මැක්රොන්ගේ ජනාධිපති ධුරය සොලවා දැමූ, අන්ත දක්ෂිනාංශික දේශපාලන විශ්වාසයන් දැරූ ආණ්ඩු විරෝධී කහ කමිසකරුවන්ගේ විරෝධතා ව්‍යාපාරයටද සමීපව කටයුතු කළ බවය.
කෙසේ වෙතත් ඩේමියන් හඳුනන අය විස්තර කළේ ඔහු තමාගේ භූමිකාව නිරූපණයට ආදරය කළ, කරදර කාරයෙක් නොවූ මිනිසෙකු බවයි. ඔහු කිසිදු දේශපාලන හෝ සටන්කාමී කණ්ඩායමක සාමාජිකයෙකු නොවන බව ඔහුගේ නීතීඥයා අධිකරණයට පැවසීය.
ඩේමියන් සමග තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට කම්මුල් ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් නොවූවත්, නීති විරෝධී ලෙස ආයුධයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවකට ලක්ව තිබේ.