පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන මුදල් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව), ගිණුම් කාරක සභාව වැනි විශේෂ කාරක සභා සඳහා විශේෂඥයන් සහ පර්යේෂකයන්ගේ සහාය ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාවේ දී දැඩි අවධානය යොමු වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම කාරක සභාවට සහභාගි වූ සභානායක සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු කාරක සභා සභාපතිවරු ගණනාවක් මේ පිළිබඳව අදහස් දක්වමින් ආර්ථිකය ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍ර ප්රවීණයන්ගේ දායකත්වය ලබා ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන්හ.
මුදල් කාරක සභාව වැනි කාරක සභාවන්ට අයවැය වකවානුවේදී දිනපතා රැස්වීමට සිදුවීමත්, එමෙන්ම ආර්ථික කටයුතු හා මූල්‍ය අණ පනත් සංවාදයට ලක් කර ඒවාට අනුමැතිය ලබා දීමටත් සිදුවන නිසා විශේෂඥයන්ගේ මෙන්ම පර්යේෂකයන් ගේ සහය දැඩි ලෙස අවශ්‍ය වන බවත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙහිදී පෙන්වා දී තිබේ.
එය අනුමත කළ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සුවිශේෂී කාරක සභා වලට විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීම ඉතා වැදගත් වන බව සඳහන් කර තිබේ.
එමෙන්ම ස්ථාවර නියෝග සංශෝධනය කර පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීම් අමාත්‍යංශය තුළ දී පැවැත්වීමට ඇති හැකියාව සොයා බැලිය යුතු බවත් ඒ හරහා වැඩි නිලධාරීන් පිරිසකගේ දායකත්වය ලබාගැනීමට හැකිවන බවත් ඒ මහතා පවසා ඇත.
මෙයට අමතරව මහජන පෙත්සම් කාරක සභාව වැනි මහජනතාව සෘජුව සහභාගීවන කාරක සභා පාර්ලිමේන්තුවෙන් පිටත ස්ථානයක දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ බවද මහ ලේකම් දසනායක මහතා පැවසීය. ඒසඳහා පාර්ලිමේන්තුවෙන් පිටත රජයේ ගොඩනැගිල්ලක් යොදා ගැනීම සඳහා ස්ථානයක් සොයා බලන ලෙස කාරක සභාවට සහභාගි වූ මන්ත්‍රීවරුන් උපදෙස් දුන් බව පැවැසූ ඒ මහතා ඒ හරහා කාරක සභා වලට මහජන සහභාගීත්වය වැඩි කළ හැකි වන බව මන්ත්‍රීවරුන් පෙන්වා දුන් බව පැවසීය.