ගණිතය විෂයට ටියුෂන් ලබා දීමේ මුවාවෙන් නිවසට පැමිණි ටියුෂන් ගුරුවරයෙකු විසින් කාලයක් මුළුල්ලේ අවුරුදු 12ක බාල වයස්කාර පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත 2020 ජූලි මස ලැබුණු පැමිණිල්ලකට අනුව, පෙරේදා (17) දින එම ටියුෂන් ගුරුවරයා අත්අඩංගුවට ගෙන, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
2018 වසරේදී සිදුවී ඇති මෙම සිද්ධිය සම්බන්ධව වින්දිත ළමයා විසින් ප්‍රථමයෙන් තම යහළුවෙකුට පවසා ඇති අතර, පසුව දෙමව්පියන්ට සිද්ධිය පිළිබඳව පැවසීමෙන් අනතුරුව, පසුගිය දිනක මෙම ළමයා සහ ඔහුගේ දෙමව්පියන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණ, මෙම සිදුවීම ගැන පැමිණිලි කිරීමෙන් අනතුරුව, දෙමව්පියන්ගෙන් හා ළමයාගෙන් සිද්ධිය පිළිබඳව කටඋත්තර සටහන් කරගෙන ඇත.
ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන මෙම බාලවයස්කාර පිරිමි ළමයාගේ පියා විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු වන අතර, තම ළමයාට ගණිතය විෂයට ටියුෂන් ගුරුවරයෙකු අවශ්‍ය වන බව ඔහු විසින් තමන්ගේ හිතවත් යහළුවෙකු වෙත දන්වා ඇති අතර, එම යහළුවා විසින් මෙම සැකකාර ටියුෂන් ගුරුවරයාව සම්බන්ධ කර දී තිබේ.
මෙම ළමයාට ටියුෂන් ලබා දීම සඳහා දෙමව්පියන් විසින් සූදානම් කර දී ඇත්තේ ළමයාගේ කාමරයයි. මුල් කාලයේදී මෙම කාමරයේ දොර, ජනෙල් සියල්ල විවෘතව තබා ඇති අතර, පසුකාලීනව ක්‍රමයෙන් කාමරයේ සියළු දොර ජනෙල් වසා දමා ටියුෂන් දීම සිදු කර තිබේ. මේ අතර, මෙම සැකකාර ගුරුවරයා ටිකෙන් ටික ළමයාට සමීප වී ඇති අතර, පසුව ලිංගික කටයුතු සදහා ළමයාව පොළඹවාගෙන තිබේ. ළමයා ඒ සඳහා අකමැත්ත ප්‍රකාශ කර සිටිය ද පසුව මෙම ගුරුවරයා විසින් අසභ්‍ය වීඩියෝ පට ළමයාට පෙන්වමින් නැවත නැවතත් ළමයා ලිංගික කටයුතු සදහා පොළඹවාගෙන, ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.
මේ අතර, දිනක් මව විසින් මෙම ගුරුවරයාට තේ රැගෙන එන අවස්ථාවකදී ද මෙම ගුරුවරයා ලිංගික ක්‍රියාවක යෙදෙමින් සිට ඇතත්, ඒ පිළිබඳව මවගේ අවධානය යොමු වී නොමැති බව ළමයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. මෙම අපයෝජනය සිදුවන අවස්ථාවන්හිදී ළමයාගේ මව හා මිත්තණිය නිවසේ සිට ඇති බවත්, පියා සොයා දුන් ගුරුවරයෙකු නිසා මෙන්ම නැවත ටියුෂන් ගුරුවරයෙකු සොයා ගැනීමට අවස්ථාවක් නොලැබෙතැයි සිතූ නිසාත්, පසුව ගුරුවරයා විසින් ළමයා වෙත තර්ජනය කර සිටි නිසාත් මේ පිළිබඳව දෙමව්පියන්ට නොදැන්වූ බව ළමයා වැඩිදුරටත් කටඋත්තර ලබා දෙමින් ප්‍රකාශ කර තිබේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ, නියෝජ්‍ය සභාපති විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු නීතිඥ සුජාතා අලහප්පෙරුම, අධ්යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන යන මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති N. කදිරගාමර් මහතා ඇතුළු අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සිද්ධියට අදාළව ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.
වැඩිහිටියන්ගේ අවධානයෙන් තොර කලාපයක් වන, ළමයාගේ කාමරය තුළදීම ටියුෂන් ලබා දීමට අවස්ථාව දෙමව්පියන් විසින්ම සලසා දීමත්, කාමරයේ සියළු දොර ජනෙල් වසා දමා ටියුෂන් ලබා දීම ගැන සැලකිලිමත් නොවීමත්, ළමයාට මෙම අපයෝජනයන් සිදුවන සෑම අවස්ථාවකදීම ඔහුගේ මව හා මිත්තණිය නිවසේ සිටීමත් පිළිබඳව සලකා බැලීමේදී, දෙමව්පියන් විසින් මීට වඩා මේ පිළිබඳව සැලකිලිමත් වූයේ නම්, මෙම අපයෝජනයෙන් ළමයා මුදවා ගැනීමට බොහෝසෙයින් ඉඩකඩ තිබී ඇති බව පෙනී යන බැවින්, මෙවැනි දේ පිළිබඳව දෙමව්පියන් විසින් මීට වඩා සැලකිලිමත් වන මෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දෙමව්පියන්ගෙන් හා වැඩිහිටියන්ගෙන් ඉල්ලා සිටියි.