මොන පොරොන්දු දුන්නත් අද ජනතාව පොරොන්දුවලට නොවැරටෙන බවට ජනතාව විසින්ම පසුගිය ජනාධිපතිවරණ මැතිවරණයේදී ආදර්ශයක් ලබා දුන් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ බව කියාසිටියේ ඊයේ (23) වනදා අම්බලන්තොට ථෙරපුත්තාභය රජමහා විහාරයේ විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝ නායක වගේගොඩ සිලාලන්ද හිමියන්ගේ සංවිධානත්වයෙන් එම විහාරයේ පැවති පිළිගැනිමේ උත්සවයක් සදහා සහභාගි වෙමිනි .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා,
''දැන් අපට තියෙන්නෙ වැඩ කරන කාලයක්. එන අප්‍රේල් මාසෙ මහ මැතිවරණේ වෙනකන් ජනාධිපතිවරයෙක් පත් කරගත්තත් ඇමති මණ්ඩලය පත් කරගත්තත් අපේ අත් පය බැඳලා තියෙන්නෙ. පසුගිය ආණ්ඩුව ඉතාම සූක්ෂම ලෙස 19 වන ව්‍යවස්ථාව සකස් කරගෙන. හැබැයි එදා අපේ අතිනුත් වරදක් වුණා. මම නම් හිටියේ කතා නායක පුටුවේ. නමුත් අපේ අය මේ ව්‍යවස්ථාව සම්මත කරන්න ඡන්දය දුන්නා වැඩිදුර කල්පනා කරන්නෙ නැතිව. මම හිතන්නෙ ඒ හින්දා තමයි මේ අවුල අද රටේ ඇති වෙලා තියෙන්නෙ. මේක ලිහන්නත් ඕන. ඒ සඳහා ඔබට තමයි ශක්තිය බලය තියෙන්නෙ.
අප්‍රේල් මාසෙ අග සතිය වෙනකොට පාර්ලිමේන්තු මහමැතිවරණයට මුහුණ දෙන්න වෙනවා. වාදභේද සියල්ල පැත්තකට දාලා මේ රට යහපත් මාර්ගයට ගැනීමේ අධිෂ්ඨානය ඇතිව කටයුතු කරන්න වෙනවා. වර්තමාන ජනාධිපතිතුමාට අපි සියලු දෙනාටම නැති ගතිගුණ රාශියක් තියෙනවා. එතුමා පසුගිය කාලේ මැතිවරණය ආරම්භ කළ දවසෙ ඉඳන් ඒක සමාජයට රටට ලෝකෙට පෙන්නුවා.
අපි ඡන්දයක් කරන්න පටන්ගන්නෙ තොග ගනන් පෝස්ටර් ගහලා ලයිට් කණු පුරවලා තාප්ප කිලිටි කරලා තවත් අය ඒක උඩ පෝස්ටර් ගහනවා රණ්ඩු වෙවි තමයි මේ වැඩේ කළේ. ඒක සම්පූර්ණයෙන්ම නැති කළා. දේශපාලනයේ නොඉඳ පළමුවෙනි වතාවටත් ඡන්දෙ ඉල්ලලා එතුමා තීරණයක් ගත්තා පෝස්ටර් වැඩක් නෑ කියලා. එතුමා පරිසරයට ඉතාමත් ආදරය කරන කෙනෙක්. පරිසරය විනාශ කරනවට එතුමා කැමති නෑ. ඒකෙන් ලොකු ආදර්ශයක් දුන්නා.
ඒ වගේම රැස්විම්වල කතා කිරීමේ දී වෙලාවට රැස්විමට පැමිණිමෙන් කතා කිරීමෙන් තවත් ආදර්ශයක් එතුමා දුන්නා. එතුමාගේ දර්ශනය පිළිබඳව කතා කළා. ඒ නිසාම එතුමාට හැකියාව ලැබුණා කවදාවත් මැතිවරණයකට ඉදිරිපත් නොවූ පිරිසත් එකතු කරගෙන මේ ගමන යන්න. ඒ නිසා විශේෂයෙන්ම තිස්සමහාරාම ආසනයේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට මගේ ගෞරවය පුද කරන බවද හෙතෙම මෙහිදි කියා සිටියේය .
එතුමාගේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල යටතේ අද තරුණ පිරිස පෙළඹිලා ඉන්නවා කිළිටි වෙලා තිබිච්ච තාප්පවල ලස්සන චිත්‍ර අඳින්න. ඒක අලුත් සංස්කෘතියක්. හැඟීම්බරව තරුණ පිරිස එවැනි දේකට යොමු කරගැනීමත් ශක්තියක්. ඒ අයගෙ අතේ තමයි මේ රටේ අනාගතේ තියෙන්නෙ. ඒ අය යහමගට ගන්න අපි ආදර්ශයෙන් ක්‍රියා කළ යුතුව තියෙනවා. අපිට වගකීමක් තියෙනවා මේ තුන්මාසය තුළ මෙතෙක් මේ රටට වූ විනාශය හඳුනාගෙන ඒකට වැඩපිළිවෙල සකස් කිරමට. වැඩ කරන්න සල්ලි නෑ. පසුගිය ආණ්ඩුවෙ අයවැයෙන් තමයි අපි අප්‍රේල් වෙනකන් යන්නෙ. අලුත් ආණ්ඩුවක් හදලා අයවැය ලේඛනයක් හදලා තමයි වැඩ කරන්න වෙන්නෙ. නමුත් මේ කාලය තුළ ජනතාවට දැනිච්ච බර සැහැල්ලු කරන්න බදු බරින් සියලු දෙනාම නිදහස් කරගන්න කටයුතු කරලා තියෙනවා. විශාල සහන රැසක් ලබාදීලා තියෙනවා'' යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
හම්බන්තොට - රාහුල් සමන්ත