මැකාෆි ප්‍රති-වෛරස මෘදුකාංගයේ නිර්මාතෘ ජෝන් මැකාෆි ස්පාඤ්ඤයේ, බාර්සිලෝනා නුවර ආසන්නව ඔහු රඳවා සිටි සිර මැදිරියක් තුළදී සිය දිවි නසා ගැනීමක් සම්බන්ධයෙන් වාර්තා වෙයි.
දශක ගණනාවක සිර දඬුවම් ලැබිය හැකි බදු චෝදනාවලට මුහුණ දීම සඳහා ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට ස්පාඤ්ඤ අධිකරණයක් නියම කිරීමෙන් පැය කිහිපයකට පසුව ජෝන් මැකාෆි මෙසේ සිය දිවි තොර කරගෙන ඇති බව කියයි.
ඇමෙරිකාවේ ටෙන්නසි සිට මධ්‍යම ඇමෙරිකාව මෙන්ම, කැරිබියනු කලාපය දක්වාම විහිදුණු බදු පැහැර හැරීම් ඇතුළු චෝදනා ගණනාවකට ලක්ව සිටින මැකාෆි ඊසානදිග ස්පාඤ්ඤයේ, බාසිලෝනා හි බ්රයන්ස් 2 බන්ධනාගාරයේ රඳවා තිබුණේ, පසුගිය ඔක්තෝබර් මාසයේදී බාසිලෝනා හි ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගැනීමෙන් පසුවය.
ආරක්ෂක භටයන් ඔහුගේ ජීවිතය බේරාගැනීමට උත්සාහ කළ නමුත් බන්ධනාගාරයේ වෛද්‍ය කණ්ඩායම අවසානයේ ඔහුගේ මරණය සිදුව ඇති බව තහවුරු කර තිබේ. එමෙන්ම මරණයට හේතු සොයා බැලීමට අධිකරණ වෛද්‍ය කණ්ඩායමක්ද පැමිණ ඇති අතර, එය සිය දිවි නසා ගැනීමක් ලෙස දැනට නිගමනය කර තිබේ.
75 හැවිරිදි එක්සත් ජනපද පුරවැසියෙකු ලෙස ස්පාඤ්ඤ මාධ්‍ය ඔහුව හඳුන්වා ඇති අතර, අධිකරණ තීන්දුවෙන් පසුව ඕනෑම පිටුවහල් කිරීමක් මෙන්ම, මෙම අවස්ථාවටද එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබුණි.
ජෝන් ඩේවිඩ් මැකාෆි ලෙස 1945 දී එංගලන්තයේ ග්ලූස්ටර්ෂයර් හි උපත ලැබූ ඔහු 1987 දී මැකාෆි ඇසෝසියේට්ස් ආරම්භ කළේය. 1990 දශකයේ මුල් භාගයේදී ඔහු නමින් නම් කරනලද ප්‍රති-වෛරස මෘදුකාංග සමාගමේ කොටස් විකිණීමෙන් පසු අනියම් හා විවාදාත්මක ජීවිතයක් ගත කළේය.