මෙම මස ගතවූ දවස් 19 තුළ රුපියල් බිලියන 48 ක මුදල් අච්චු ගසා ඇති බවත් 2019 නොවැම්බර් 16 වනවිට තිබූ ඩොලර් බිලියන 7.2 ක සංචිත ඩොලර් බිලියන 4.5 කට අඩුව ඇති බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
දිනකට රුපියල් බිලියන 3.5 ක් 4 ක් මුදල් අච්චු ගසමින් රට කොතෙක් දුර ගෙනියන්න පුළුවන් දැයි ඔහු ප්‍රශ්න කරනු ලැබීය.
රණතුංග ක්‍රිකට්වලට නොකරපු දේ, දේශපාලනයේ සිද්ධවෙලා වී ඇති බවද ඔහු සඳහන් කළේ ඊයේ (20), තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේ පැවති, 43 සේනාංකයේ දන්ත වෛද්‍යවරුන්ගේ හමුවට එක්වෙමිනි.
“පසුගිය නොවැම්බර් මාසයේ භාණ්ඩාගාර බිල්පත් හරහා දේශීය වශයෙන් ණය ගැනීමට යාමේදී මෙවර අපට සිටියේ 45% ක් පමණි. නමුත් මීට ඉහත ආණ්ඩුවට ණය ලබාදීමට අවශ්‍ය තරම් අය පෝලිමේ සිටියහ. මේ හේතුවෙන් ඉතිරි 55% මුදල් අච්චුගැසීමට භාණ්ඩාගාරයට සිදුවිය. මුදල් අච්චුගැසීම එතරම් හොඳ දෙයක් නොවේ. අද වන විට මුදල් අමාත්‍යාංශ ලේකම් සජිත් ආටිගල සහ ජනපති ගෝඨාභය රාජපක්ෂගේ එකම විසඳුම වී ඇත්තේ මුදල් අච්චු ගැසීමයි.
වත්මන් ආණ්ඩුව 2020 වර්ෂයේ පමණක් රුපියල් බිලියන 659 ක මුදල් අච්චුගසා තිබේ. 2020 වර්ෂයේ රටේ මුළු බදු ආදායම බිලියන 1,040 කි. මෙම බදු ආදායමට අමතර වශයෙන් රුපියල් බිලියන 659 ක මුදල් අලුතෙන් මුද්‍රණය කර තිබේ. මෙය 2019 වර්ෂයත් සමඟ සංසන්දනය කළ යුතුය. 2019 වර්ෂයේ මුදල් අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 04 ක් පමණි.
ඊයේ(20) ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ වාර්තාව නිකුත් වූ පසුව මෙම පෙබරවාරි මාසයේ ගතවූ දවස් 19 තුළ කොපමණ ප්‍රමාණයක් මුදල් අච්චු ගසා තිබේද යන්න මා විසින් මහ බැංකුවේ දත්ත පද්ධතිය නිරීක්ෂණය කර බැලුවෙමි. මෙම දවස් 19 ට පමණක් රුපියල් බිලියන 48 ක් මුදල් අච්චුගසා ඇති බව ඉන් පහැදිළි විය. බියගම මුදල් මුද්‍රණය කරන යන්ත්‍රයේ උපරිම ධාරිතාවයෙන් වත්මන් ආණ්ඩුව මුදල් අච්චුගසමින් යයි.
මෙහි යථාර්ථය පාරට ගිය විට පෙනෙන්නට තිබේ. කෙසෙල් ඇවරියක මිල රුපියල් 950 කි. අඹ කිලෝවක මිල රුපියල් 500 කි. අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1000 කි. කහ කිලෝවක මිල රුපියල් 8000 කි. මෙම මුදල් අච්චු ගැසීමෙන් අපි කොපමණ ඩොලර් ඉපයූවත්, ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණ වීම වළක්වා ගැනීමට නොහැක. ඒ රුපියල් ප්‍රමාණය වැඩි වුවාට ඩොලර් ප්‍රමාණය වැඩි නොවන නිසාය.
පසුගිය ජනවාරි 19 වන දින සංවර්ධන බැඳුම්කර හරහා වෙළෙඳ පොළෙන් (වෙළෙඳ පොළ යනු, දේශීය හා විදේශීය බැංකු වලින්) ඩොලර් මිලියන 200 ක් ලබාගැනීමට ගියද, ප්‍රතිචාර ලැබුණේ ඩොලර් මිලියන 44 කට පමණි. ඉහත දී ලංකාවට ණය ලබාදීමට තරඟයක් පැවතිණ. දැන් කුමක්ද සිදුවී ඇත්තේ ?
ඒ නිසා අපට සිදුවුණා, අපේ සංචිත වලින් එය ගෙවීමට. මතක තියාගන්න, යහපාලනයට බැන්නට ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා 2019 නොවැම්බර් 16 දින වනවිට ඩොලර් බිලියන 7.2 ක් (මිලියන 7200 ක්) මේ රටේ ඉතුරු කරල තිබුණ බව. අද අප සතු සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 කි. ඉන් ආසන්නයෙන් 0.5 ක් රත්රන්ය. රත්රන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් මීට ඉහත සංචිත තුළ තිබුණි. එම රත්රන් තොගය අපට අහිමි කලේ අජිත් නිවාඩ් කබ්රාල් සහ මහින්ද රාජපක්ෂය.
අප සතු මේ බිලියන 4.5 ක් වූ සංචිතය කොපමණ ප්‍රමාණවත් ද ? මේ වසරේ පමණක් බිලියන 6.5 ක් ණය ගෙවීමට තිබේ. (ආනයන අපනයන පැත්ත හැර) මේ හේතුවෙන් රට ඉතාමත් අසීරු තත්ත්වයකට අද මුහුණ දී සිටී. ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ලංකාව, ඉරාකය, ඇන්ගෝලාව වැනි රටවල් මට්ටමට දමා තිබේ. කෝවිඩ් වසංගතයෙන් රටවල් ගලවා ගැනීමට IMF, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, සෑම රටකටම ආධාර ලබාදෙන ලදි. පාකිස්තානයට හා නේපාලයටත් ලබාදුනි. නමුත් අපට දුන්නෙ නැත. ඒ ඇයි ?
ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව අඩුවී ඇත්තේ කෝවිඩ් නිසා නොව වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසාය. එහෙයින් ලංකාවට ණය ලබා දී ඵලක් නොමැති බව ඔවුනගේ මතයයි. මේ ආකාරයට ගොස් රට බංකොළොත් වුවහොත් මොනවගේ දෙයක් වෙයි ද ? ග්‍රීසියේ කතාව කොයි වගේද ? ලෙබනනයේ, ඇෆ්ගනිස්ථානයේ කතා කොයි වගේ ද ?
හැමදාම මේ ආකාරයට මුදල් අමාත්‍යාංශයේ ලේකම් සජිත් ආටිගලට හා පී.බී. ජයසුන්දරට බියගම මුදල් අච්චු ගැසීමේ කර්මාන්ත ශාලාවෙන් දවසකට බිලියන 3.5 ක් 4 ක් මුදල් අච්චු ගසමින් රට ගෙනියන්න පුළුවන් ද ? කොපමණ දුරක් මේ ගමන යන්නද ? ඉතාම ඉක්මනින් මේ රට කඩාවැටීමට මෙම ක්‍රියාවලිය හේතුවිය හැකි බව අප මතක තබාගත යුතුයි.
අද රටට වෙලා තියෙන්නෙ මොකක්ද ? ධම්මික බාස් උන්නැහැහේට ධම්මික වෙද මහත්තය වෙලා, දැවැන්ත හෙළ ඔසුවක් හදල එය වන්දනා කරන්න ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ගෙන යන්න හැකිවුණා. ඒක බොරුවක් බව ඔප්පු වුණත් තාමත් ඒ පසුපස යන අය ඉන්නවා. ධම්මික පැණියයි ගෝඨාභය රාජපක්ෂයි අතර කිසි වෙනසක් නෑ. ඒ මොකද, මාර්කටින් වලින් හදපු චරිතයක්. පුස්සක්. බොරුවක්. අවිද්යාත්මකයි. විසඳුමක් නෑ කියල දැන දැනත් අර ධම්මික පැණිය පස්සෙ යනව වගේ කට්ටිය තාමත් හැල්මේ පසුපසින් යනවා.
මේ රටේ දේශපාලන ඛේදවාචකය ගැන ඉතාම සරල උදාහරණයක් කිව්වොත්, 1996 අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් අපි ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළා. ඒ අවස්ථාවේ අර්ජුන රණතුංග කිව්වනම්, මේක මේ රණතුංග පවුලේ වැඩක්. අපේ ජාන වලින් තමයි මේක ආවෙ. අනෙක් අය එහෙන් මෙහෙන් පොඩ්ඩ පොඩ්ඩ වේදිකාවේ කතා කළා තමයි, මම තමයි මෙහි වැඩකරු. මගේ පවුලේ අය තමයි මේක කලේ. ඒ නිසා මගෙන් පස්සෙ මේ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය මගේ මල්ලිට, එහෙම නැත්නම් මගේ පුතාට යන්න ඕන කියල. එහෙම ක්‍රියා කළානම් එදාම ලංකාවෙ ක්‍රිකට් ඉවරයි. කුමාර සංගක්කාර කෙනෙක්වත්, මහේල ජයවර්ධන කියල කෙනෙක්වත්, ඊට පස්සෙ ආව ලෝක කුසලාන දෙකක අවසාන තරඟාවලියට ආව එකවත් වෙන්නෙ නෑ.
නමුත්, ක්‍රිකට්වල යම් තරඟකාරීත්වයක් තිබුණු නිසා අද තියෙන අවපාතයට ආවට, දශක දෙකකට ආසන්න කාලයක් ඒක පවත්වාගෙන යන්න හැකියාව ලැබුණා. ලංකාවේ දේශපාලනයේ වෙලා තියෙන්නේ, රණතුංග ක්‍රිකට්වලට නොකරපු දේ දේශපාලනයේ සිද්ධ වෙච්ච නිසා.
එක්තරා පුද්ගලයෙක්, පවුලක් හිතන්න පටන් අරන් තියෙනවා, අපේ ජාන වලින් තමයි මේ සියලු ජයග්‍රහණ ඇවිල්ල තියෙන්නෙ. අනෙක් ඔක්කොම අපේ වේදිකාවෙ කවි කියන්න ආපු කවියො. අනෙක් ඔක්කොමල අපේ බත්බැලයෝ. අපේ කුඹුරෙ හාන්න ආපු කට්ටිය. අපි තමයි මේ සියල්ලේ නිර්මාපකයෝ කියල. ඉතිං රට මේ ගාණටවත් දුවන එක ගැන අපි සතුටු වෙන්න ඕන. මෙතැන මහේලලට, සංගක්කාරලට ඉඩක් නෑ. ඒ ඔක්කොම එන්න ඕන මෙතැනින්. එහෙමයි හිතන්නෙ. අන්න එයයි අපි බිඳ දැමිය යුත්තේ.”