තිස්සමහාරාම, පන්නිගමුව හන්දියේ පිහිටි පුද්ගලික බැංකුවකට ඇතුළු වී එහි තිබූ රුපියල් විසිහත් ලක්ෂ එකොළොස්දහස් හත්සිය පනස් හතරක මුදලක් මංකොල්ලකා ඇතැයි තිස්සමහාරාම පොලීසිය පවසයි.
එහි සේවකයන් විසින් ඊයේ (29දා) සවස වැඩ අවසන් කිරීමෙන් පසු බැංකුව වසා ගොස් ඇති අතර අද (31දා) පෙරවරුවේ නැවත එය විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ බැංකුවේ පිටුපස දොර කඩා ඇති අයුරු දැක තිබේ.
මේ සම්බන්ධයෙන් බැංකුවේ කළමනාකාරිනිය විසින් තිස්සමහාරාම පොලීසියට සිදු කළ පැමිණිල්ලකට අනුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ බැංකුවේ පිටුපස දොර කඩා ගොඩනැගිල්ලට ඇතුළු වීමෙන් අනතුරුව සේප්පුව කඩා එහි තිබූ මුදල් සොරකම් කරගෙන ගොස් ඇති බවයි.
සොරකමට පැමිණි සැකකරු හෝ කණ්ඩායම බැංකුවේ සවිකර තිබූ ආරක්ෂක කැමරාද වෙනත් අතකර හරවා එහි දත්ත ගබඩාවද රැගෙන ගොස් ඇති බවට එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
තිස්සමහාරාම පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චින්තක මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන්වරුන් වන ඉන්දික, ක්රිෂාන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන පුෂ්පකුමාර, සුමිත් ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සූරියවැව-නුවන් ජයසේකර / තිස්සමහාරාම-රුක්මන් රත්නායක