වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් ලබා දීමට සියලු කටයුතු සූදානම් කර ඇති මොහොතක එය තම වෘත්තීය සංගම්වල ජයක් ලෙස පෙන්වා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් නොමඟ යැවීමේ උත්සාහයක සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
ගුරු සේවයේ වැටුප් විෂමතා ඉවත්කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සකස් කරන ලද යෝජනාවලිය මේ වනවිටත් රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන විශේෂ කොමිසන් සභාව වෙත යොමුකර අවසන් අතර, ඉදිරියේ දී ඊට අදාල නිර්දේශ ලැබීමෙන් අනතුරුව අදාළ වැටුප් විෂමතා ඉවත් කිරීමට පියවර ගැනීමට නියමිත බවද සඳහන් වේ.
එසේ තිබිය දී, ඇතැම් වෘත්තීය සංගම් විසින් ජනතාව නොමඟ යවමින් ගෙන යන වැඩවර්ජන සහ උද්ඝෝෂණ පිටුපස ඇත්තේ පටු දේශපාලන අරමුණු සහ රජය සහ ජනතාව අතර විරසකභාවයක් ඇති කිරීමේ නිරර්ථක උත්සාහයන් පමණක් බවයි එහි සඳහන් වන්නේ.
එමෙන්ම, අංක 03/2016 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ විධිවිධාන මත සියලු රජයේ සේවකයින්ගේ වැටුප් පරිමාණ සංශෝධනය කෙරුණු අතර, ගුරු සේවයේ වැටුප් ද ඒ අනුව සංශෝධනය කරන ලදි.
මෙරට අධ්‍යාපන පද්ධතියට ගුරුභවතුන් සහ විදුහල්පතිවරුන්ගෙන් වඩාත් ගුණාත්මක සේවා දායකත්වයක් ලබාගැනීම වෙනුවෙන් සහ ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනය හා සේවා තෘප්තිය ඉහළ නැංවෙන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් හැකි සෑම පියවරක් ම ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අපේක්ෂාව බව සඳහන් වේ.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ විශේෂ මඟපෙන්වීම් හා උපදෙස් මත රටේ පවත්නා ගුරු හිඟය සහ ගුරු අතිරික්තය හඳුනාගනිමින්, ගුරු තුලනයක් ඇතිකිරීමටත්, වසර 10ට වැඩි ගුරුවරුන් සඳහා ස්ථානමාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත් පියවර ගනු ලැබුවේ ද එම ගුණාත්මක අධ්‍යාපන අවස්ථා මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ ඇති කිරීමේ අරමුණින් බව සඳහන්ය.
තත්ත්වයන් මෙසේ පැවතිය දී ගුරුවරුන් වෙනුවෙන් යැයි පෙනී සිටින ඇතැම් වෘත්තීය සංගම් නියෝජිතයන් තම උද්ඝෝෂණ ක්‍රියාමාර්ග හරහා දිනූ අයිතිවාසිකම් ලෙස මෙම ක්‍රියාමාර්ග හුවාදැක්වීමට කටයුතු කිරීම සහ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම වෙනුවෙන් දැයේ අභිමානවත් ගුරුපරපුර දඩමීමා කරගැනීම කනගාටුදායක මෙන්ම අවස්ථාවාදී දේශපාලන පිළිබිඹුවක් පමණක් බව එහි වැඩිදුරටත් සඳහන්ය.