පාකිස්තාන ගුවන් සේවයට අයත් යානයක් කරච්චි නගරයේදී කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් මියගිය මගීන් හා කාර්ය මණ්ඩලය 97ක් බව විදෙස් වාර්තා පවසයි.
දකුණු පාකිස්තානයේ කරච්චි නගරයේ කඩාවැටුණු ස්ථානයේදී ඊයේ දිනයේ යානයේ කළු පෙට්ටිය තිබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මගීන් දෙදෙනෙකු දිවි ගලවා ගත් නමුත් මළ සිරුරු 97ක් එම ස්ථානයෙන් සොයාගෙන ඇති බව පාකිස්තාන සන්නද්ධ හමුදාවේ ප්‍රකාශක මේජර් ජෙනරාල් බාබර් ඉෆ්තිකාර් ඊයේ සඳහන් කළේය.
මෙම යානය ජනාකීර්ණ නිවාස පෙළක් ආසන්නයට කඩා වැටුණත්, ඉන් නිවාසවලට බරපතළ හානියක් සිදුව නොමැති අතර,ගොඩබිම සිටි කිසිවෙකු මියගිය බවක් මෙතෙක් වාර්තා නොවෙයි.
කෙසේ වෙතත් මියගිය අය සෙවීම සඳහා හමුදාව හා ස්වෙච්ඡා සේවයන් යොදවා ඇති බව ඉෆ්තිකාර් පැවසීය.
එමෙන්ම සිද්ධියෙන් බලපෑමට ලක්වූ නිවාස 25ක ජනතාව ඉවත් කිරීමටද බලධාරීන් පියවර ගෙන තිබේ.
පාකිස්තානයද කොවිඩ්-19 වසංගතයට මුහුණදී සිටින අවස්ථාවේදී මෙම අවාසනාවන්ත ගුවන් අනතුරද සිදුවූ අතර, යානයේ එන්ජින් ක්‍රියාවිරහිත වීමක් අවසාන වශයෙන් ගුවන් නියමුවා පාලක මැදිරියට පවසා තිබේ.
කොවිඩ්-19 සමස්ත ආසාදිතයන් 50,000ක් ඉක්මවා මේ වනවිට පාකිස්තානයෙන් වාර්තා වන අතර, එම අගය 52,437කි. එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 1,101කි.