පාකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් , මෙම කොවිඩ් - 19 වසංගත රෝගී සමයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනා යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සදහා අද (21) දින උදෑසන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් පාකිස්තානය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය .
ශ්‍රී ලංකාවෙන් සිසුන් බොහෝ පිරිසක් විවිධ රටවල උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ගොස් සිටින අතර , ඔවුන් මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට ඔවුන්ව ගෙන්වා ගැනීම සදහා ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ .
එම ඉල්ලීම් අතරින් පළමු අවස්ථාව සාර්ක් රටවල ඉගෙනුම ලැබීම සදහා ගොස් සිටි සිසුන් වෙත හිමි වී තිබෙන අතර , ඒ අනුව මෙරටට ගෙන්වා ගනු ලබන පළමු සිසුන් කණ්ඩායම ලෙස මෙසේ පාකිස්තානයේ උසස් අධ්‍යාපනය ලැබීමට ගොස් සිටින සිසුන් 113 දෙනා අයත් වේ .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1205 දරන මෙම ගුවන් යානය අද (21) දින උදෑසන 7.40 ට පාකිස්තානයේ කරච්චි ගුවන් තොටුපළ බලා පිටත්ව ගිය අතර , එම ගුවන් තොටුපළ තුළ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙම ගුවන් යානය වෙත ඇතුළු කර ගැනීමට නියමිතය .
ඉන්පසුව මෙම ගුවන් යානය එතැන් සිට ලාහෝර් ගුවන් තොටුපළ වෙත ගොස් , එහි රැදී සිටින ඉතිරි ශ්‍රී ලාංකික සිසුන් ද මෙම ගුවන් යානය වෙත ඇතුළු කර ගැනීමට නියමිතය .
මෙම ගුවන් යානය වෙනත් ගුවන් මගීන්ගෙන් තොරව පාකිස්තානය බලා ගමන් ගත් අතර , එම යානය තුළ ගුවන් නියමුවන් ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලය 17 ක් සිටියහ .
පසුව මෙම ගුවන් යානය අද දින රාත්‍රී 7.45 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .