නව කථානායකවරයෙකු පත්කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ඇතුලු එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලසුම් කරගෙන යන බව වාර්තා වෙයි.
ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවු පසුව මන්ත්‍රිවරුන් 113කගේ සහය මෛත්‍රිපාල-මහින්ද නව රජයට ලැබී තිබුණහොත් යෝජනාවක් ගෙනවිත් කරු ජයසූරිය මහතා කථානායකධූරයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වෙයි.
ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ සිටින ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කථානායක ධුරය ලබාදිය යුතු බවටද යෝජනා ඉදිරිපත් වී තිබේ.
ලබන 14 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ අංක 01 වශයෙන් නව කථානායකවරයෙකු තෝරාගැනීම යොදාගනු ඇති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු 'අද' පුවත්පතටපැවසීය.
ඊටපෙර බොහෝ දුරට කරු ජයසූරිය මහතා කථානායකධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවත්, එසේ නොමැතිව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113කගේ ඡන්දයෙන් කරු ජයසූරිය මහතා ඉවත් කිරීමට සිදුවුවහොත් එමගින් ඔහුගේ දේශපාලන දිවියට කළු පැල්ලමක් එකතු වනු ඇති බවත් එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කථානායක කරු ජයසූරිය මහතා සමග තවදුරටත් කටයුතු කළනොහැකි බවත්,ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළවී තිබෙන බවත් එම මන්ත්‍රිවරයා කියා සිටියේය.
කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරමින් සිටින බවත්,ඔහු ඉවත් කළ යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් තිබෙන බවත් ඔහු කීය.