නව එන්නත් නිපදවීමට ගතවන කාලය දින 100ක් දක්වා අඩු කිරීමේ ඉලක්කයට සහාය වන ලෙස ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් G7 රාජ්‍ය නායකයන් වෙත පවසයි.
මෙවර G7 රාජ්‍ය නායක සමුළුවේ මුලසුන හොබවන බ්‍රිතාන්‍ය අගමැතිවරයා, එහි අතථ්‍ය රැස්වීමට පෙර නිවේදනයක් නිකුත් කරමින් මෙම ඉල්ලීම කළේය.
"දින 300 ක් තුළ කොරෝනා වෛරසයට එන්නතක් නිපදවීම විශාල හා පෙර නොවූ විරූ ගෝලීය ජයග්‍රහණයක්. නැගීඑන රෝග සඳහා නව එන්නත් නිපදවීමේ කාලය තව දුරටත් අඩු කිරීමෙන්, මෙම අර්බුදය තුළ දක්නට ලැබෙන ව්‍යසනකාරී සෞඛ්‍ය, ආර්ථික හා සමාජීය ප්‍රතිවිපාක වළක්වා ගැනීමට අපට හැකි වනු ඇති. ඒ නිසා දින 100ක අභිලාෂය මේ වසර මුලදීම අප විසින් යෝජනා කර තිබෙනවා." අගමැතිවරයාගේ නිවේදනයේ විය.
"වෙන කවරදාකටත් වඩා, ලෝකයේ බලාපොරොත්තු විද්‍යාඥයන්ගේ කර මත රැඳී ඇති පසුබිමක, පසුගිය වසර පුරා, පෙර ගණන් කළ නොහැකි වාර ගණනක් මෙන්, ඔවුන් අභියෝගය භාරගෙන තිබෙනවා. ඒ වගේම වසංගතයට මුහුණ දිය හැකි එන්නත් නිපදවීම, ලෝකයට සාමාන්‍ය තත්ත්වයට නැවත පැමිණීමේ අපේක්ෂාව ලබා දෙනවා. නමුත් අප පවතින ජයග්‍රහණ මතම රැඳී නොසිටිය යුතුයි. G7 නායකයන් වශයෙන් අප දැන්ම සූදනම් විය යුතුයි."
"අපගේ සාමූහික දක්ෂතාවය උපයෝගී කර ගැනීමෙන්, අපි කොවිඩ්-19 පරාජය කර වඩා හොඳින් එක්ව ගොඩනැගීමට නම්, අනාගත සෞඛ්‍ය තර්ජන සඳහා සටන් කිරීමට සූදානම්ව සිටින එන්නත්, ප්‍රතිකාර සහ පරීක්ෂණ අප සතුව ඇති බව සහතික කළ යුතුයි." අගමැතිවරයා වැඩිදුරටත් නිවේදනය කර තිබුණි.
එක්සත් රාජධානිය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය සහ ඇමරිකා එක්සත් ජනපදයේ නායකයින් සහ යුරෝපීය කවුන්සිලයේ සහ යුරෝපා සංගම් කොමිසමේ සභාපතිවරු අද (19දා) උදෑසන G7 අතථ්‍ය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වනු ඇත.