නවසීලන්තයේ නගර වීදි රැසක් අද (18දා) බොහෝදුරට පාළුවට ගොස් තිබුනේ කොවිඩ්-19 හි අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදයේ ඕනෑම ව්‍යාප්තියක් නැවැත්වීම සඳහා මාස හයකට පසු පළමු වතාවට රට ලොක්ඩවුන් කර ඇති පසුබිමකය.
විශාලතම නගරය වන ඕක්ලන්ඩ්හි ඩෙල්ටා යැයි සැක කෙරෙන එක් ආසාදන සිද්ධියක් සොයා ගැනීමෙන් පසු ඊයේ (17දා) සිට දින තුනක් පුරා රටම හදිසි අගුලු දැමීමකට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන් නියෝග කරන තුරුම නවසීලන්තය වෛරස රහිතව සහ සීමාවන් නොමැතිව මිනිසුන් ජීවත් වන රටක් ලෙස පැවතුණි.
ආසාදන වැඩිවීමේ ආකෘති අනුව ආසාදිතයන් 50-100 දක්වා ඉහළ යා හැකි බව යෝජනා කර ඇති අතර, අද (18දා) දිනයේදී කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගොස් තිබේ.
"අපි විදේශයන්හි දුටු දේ පිළිබඳ අත්දැකීමෙන්, තවත් සිද්ධීන් බලාපොරොත්තු විය යුතුයි" අගමැතිනිය පැවසීය. එසේම අගුලු දැමීමට පියවර ගැනීම නිසා රට ඉතා අඩු අවදානම් සහිත තත්වයකට පත් කරන බව ඇය මාධ්‍ය හමුවකදී පැවසුවාය.
නවසීලන්තය අවම වශයෙන් දින 3ක් වත් ඉහළම අනතුරු ඇඟවීමේ මට්ටම වන 4 වැනි අගුලු දැමීමේ මට්ටමක සිටින අතර ඕක්ලන්ඩ් දින හතක් අගුලු දමා ඇත.
ආර්ඩෙන් පැවසුවේ අසල්වැසි ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආසාදන සමග ඕක්ලන්ඩ් හි ආසාදනවල සම්බන්ධයක් ඇති බවට ජානමය අනුපිළිවෙලින් පෙන්නුම් කළ නමුත් ඩෙල්ටා ප්‍රජාවට ඇතුළු වූයේ කෙසේද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි.
2020 මාර්තු මාසයේදී නවසීලන්තයේ ජාත්‍යන්තර දේශ සීමාව වසා දැමීම, දැඩි අගුලු දැමීම සහ වසංගතය තුරන් කිරීමේ උපාය මාර්ග තුළින් කොවිඩ්-19 දේශීය සම්ප්‍රේෂණය මැඬපැවැත්වීම ගැන අගමැතිනිය ලෝක ප්‍රජාවගේ ප්‍රශංසාවද දිනා ගත්තාය.
නවසීලන්තයේ අවසන් වරට වාර්තා වූ කොවිඩ්-19 ප්‍රජා ආසාදනය පෙබරවාරි මාසයේදී වාර්තා වූ අතර, මෙතෙක් එරටින් ආසාදිතයන් 2,500ක් පමණ සහ මරණ 26ක් වාර්තා විය.