නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් රූපවාහිනී සජීව සාකච්ඡාවක් ආමන්ත්‍රණය කරමින් සිටියදී, ඇති වූ රික්ටර් පරිමාණ 5.9ක භූ කම්පනයකින් ඇය මොහොතකට තැතිගත් ස්වරූපයක් දැකගත හැකි විය.
රික්ටර් පරිමාණ 5.9ක භූමිකම්පාව සිදුවන විට නවසීලන්ත අගමැතිනිය අදහස් දක්වමින් සිටි අතර, ගොඩනැගිල්ල හා ඈ අවට වූ දෑ සෙලවී යන ආකාරය ප්‍රේක්ෂකයන්ටද දැකගත හැකි විය.
නවසීලන්ත දකුණු දූපත් ආශ්රිත මුහුදු පතුලේ කිලෝමීටර් 50ක් ගැඹුරින් භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා තිබුණද, එය උතුරු දූපතේ වෙලිංටන් නගරයට හොඳින් දැනී තිබුණි.
එරට රජයේ ගොඩනැගිල්ලක සිට එරට චැනල් 3 නාලිකාවේ කොවිඩ්-19 සම්බන්ධ සජීව සම්මුඛ සාකච්ඡාව අතරතුර මොහොතකට අගමැතිනියද යම් තැතිගැන්මකට ලක්වූ ආකාරය දැකගත හැකි විය.
'අප භූ කම්පනයකට මුහුණ දෙනවා වගෙයි. මෙතැන යම් සෙලවීමක් තියෙනවා. මගේ පිටුපසින් ඇති දේවල් චලනය වන ආකාරය ඔබ දකින්න ඇති. 'ඇය කීවාය.
'ඒක දැන් නැවතිලා. අපි හොඳින්. මා ඉන්නේ එල්ලෙන විදුලි පහනක් යට නොවෙයි. ව්‍යුහාත්මකව හොඳ තැනක මා සිටින බව මට හිතෙනවා.'
මෙම ප්‍රධාන භූ කම්පනයෙන් පසුව පසු කම්පනද ප්‍රදේශයේ ඇති වූ අතර, පළමු වැන්න රික්ටර් පරිමාණ 3.5ක පසු කම්පනයක් වූ අතර පසුව රික්ටර් පරිමාණ 3.7ක කම්පනයක් ඇති විය.
මේ අතර වෙලිංටන් නගර සභාව පැවසුවේ භූ කම්පනයේ හානිය පිළිබඳ ක්ෂණිකව වාර්තාවක් ලබාදිය නොහැකි බවයි.