නව කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් ඇතිවී තිබෙන නවසීලන්තයේ නිරෝධායන මධ්‍යස්ථාන පාලනය සඳහා අමතර හමුදා කැඳවීමට තීරණය කළ බව අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් පවසයි.
ඒ අනුව තවත් හමුදා භටයන් 500ක් මෙම නිරෝධායන පහසුකම්වල කළමනාකරණ කටයුතු සඳහා යොමුකර ඇත. මේ සමග නවසීලන්තයේ කොවිඩ්-19 ප්‍රතිචාරයට සහාය දක්වමින් එය මැඬපැවැත්වීම වෙනුවෙන් මේ වනවිට හමුදා භටයන් 1,200ක් මුදාහැර ඇති බවද සඳහන් වෙයි.
මීට පෙර ඔස්ට්‍රේලියාවද මේ ආකාරයෙන්ම කොවිඩ්-19 පාලනය සඳහා හමුදාවේ සහාය ලබාගත් අතර, තවත් රාජ්‍යයන් කිහිපයක්ම ඒ වෙනුවෙන් දැන් හමුදාවේ සහාය බලාපොරොත්තු වන්නේ, ඒ තුළ 'මිලිටරිකරණය' වීමක් සිදුවන්නේ යැයි පැවසෙන අදහස අබමල් රේණුවකට මායිම් නොකරමිනි.
කෙසේ වෙතත් මේ වනවිට නවසීලන්තයේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින බවත්, එය දිරිගන්වනසුලු වන අතර, ප්‍රජා සම්ප්‍රේෂණ වැඩිවීමක් නොපෙනෙන බවත් අගමැතිනිය කියා සිටියාය.
"වෛරසයේ පරිමිතිය ඉතා දරුණු ලෙස ප්‍රසාරණය නොවන අතර පළමු රැල්ලේදී ආසාදිතයන් ඉස්මතු වූ ආකාරයෙන් දිනපතා ආසාදන දෙගුණ කිරීම වැනි අවදානම් පසුගිය සතිය තුළ සිදුවී නැහැ. මේ දක්වා අපගේ සැලසුම වඩාත් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා" අගමැති ජසින්ඩා වැඩිදුරටත් පැවසීය.