ඉන්දියාව COVID-19 වෛරසය ආසාදිතයන් මිලියන 6ක සීමාව ඉක්මවා යනවිට අගමැති මෝදි ජනතාව අමතමින් කියා සිටියේ නිවසින් බැහැරව යද්දී සියලු දෙනාම මුඛ ආවරණයක් පැලඳීමට අමතක නොකරන ලෙසය.
ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ආසාදිතයන් මිලියන 6.5කට ආසන්න ලෙස මේ වනවිට සටහන් වන අතර, වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට ලෙස ඉන්දියාව ඉදිරි සතිවලදී එක්සත් ජනපදය පසුකර යනු ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
එසේම COVID-19 මරණ සංඛ්‍යාව 96,318ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සමස්ත ආසාදනවලින් 1.6%ක අගයකි.
බිලියන 1.3ක ජනගහනයක් ජීවත් වන ඉන්දියාව, ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ නගරවල නිවහනක් වන අතර, COVID-19 රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා කරනු ඇතැයි කියා වසංගතය පැතිරීම ආරම්භ වනවිටම ඉඟි කෙරුණු රාජ්‍යයකි.
අගෝස්තු අග සිට ලෝකයේ ඉහළම දෛනික ආසාදන වාර්තා කිරීමට පටන් ගත්දා සිට ඉන්දියාව දිනකට නව ආසාදිතයන් 80,000ත් 90,000ත් අතර ප්‍රමාණයක් එක්කරමින් සිටියි.
"මේ නීති කොරෝනයට එරෙහි යුද්ධයේ ආයුධයි. සෑම පුරවැසියෙකුගේම ජීවිතය බේරා ගැනීමට ඒවා ප්‍රබල මෙවලම් වෙනවා" යැයි මෝදි සිය මාසික ගුවන් විදුලි දේශනයේදී පැවසීය.
නව කොරෝනා වෛරසය මුලදී මුම්බායි සහ නවදිල්ලිය ඇතුළු විශාල අගනගරවලට පහර දුන් අතර, එතැන් සිට සෞඛ්‍ය සේවා පද්ධති වහා බිඳෙනසුලු හා දුර්වල ප්‍රාන්ත හා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත විය.
වසංගතයේ අඛණ්ඩ වර්ධනයක් තිබියදීත් ඉන්දීය රජය විසින් පනවා තිබූ අගුලු දැමීම් ක්‍රමයෙන් ඉවත් කිරීමට සිදුව ඇත්තේ දැඩි සීමාවන් හේතුවෙන් ආර්ථිකයට ඇති වූ පීඩනය දුගීන් ඇතුළු මිලියන ගණනක ජනතාවගේ ජීවනෝපායන් විනාශ කර ඇති නිසාය. එමෙන්ම සමහර පාසල් නැවත විවෘත කර ඇති අතර දුම්රිය, බස්, දේශීය ගුවන් ගමන්, වෙළෙඳ සැල් සහ ආපනශාලා සඳහා සීමාවන් සහිතව ක්‍රියාත්මක වීමට අවසර දී ඇත.